Tuesday, May 29, 2012

ආදරය = සිරගෙය ???



හ්ම්ම්ම් ආදරය ඇත්තෙන්ම සුන්දරයි. සමහර වෙලාවට බොහොම අහිංසකයි. සමහර වෙලාවට කුණාටුවක් වගේ. ඔක්කොම පෙරලගෙන උඩු යටිකුරු කරගෙන යනවා. එත් ගොඩක් වෙලාවට ඇත්තටම ආදරය කරන දෙන්නෙක්ට නම් ඒක හරිම සුන්දර අත්දැකීමක්. ඒ වගේම අත්දැකීම් ගොඩක් හම්බ වෙනවා. ඒත් බැරිවෙලාවත් ආදරය වයිරයකට හැරුනොත්? එතකොට නම් ඉතින් බඩු බනිස් තමා. :P


අපි කාටවත් ආදරය නැතුව ජිවත් වෙන්න බෑ. සමහර වෙලාවට අපිට ආදරය කරන කෙනෙක් ගෙන් වෙන් වෙන්න උනාම හිතෙනවා මට නම් මිට පස්සේ ආදරේ කරන්න ඕන නෑ එහෙම හිතෙන එකකුත් නෑ කියල. ඒත් කොච්ච‍ර එහෙම හිතුනත්  ඒක කවදාවත් ඇත්ත නම් වෙන්නේ නෑ. ඒ මොකද අපේ ජිවිතයට ආදරය කියන එක බද්ද වෙලා තියෙන්නේ හරියට ගහට පොත්ත වගේ. ඒක වෙනස් කරන්න උත්සාහ ගත්තට වැඩක් නෑ. මේ උත්තරීතරයි කියන ආදරය ඇත්තටම එහෙමද ? ආදරය හැම වෙලාවේම ගොඩක් ලස්සනද? එකේ අවලස්සන පැත්තක් නැද්ද ? හැමෝටම ආදරය කියල දැනෙන්නේ එකම දේද ? එහෙමත් නැත්නම් අපි ආදරය කරනවා කියල කරන්නේ හොඳ දෙයක්ද එහෙමත් නැත්නම් නරක දෙයක්ද ? 

මෙන්න මේ වගේ ගොඩක් ප්‍රශ්න ඔලුවට එනවා ඒක වචනයක් හින්ද. පුදුමත් හිතෙනවා. ඒත් ආදරය කියන්නෙත් ඒක අතකට පුදුම හිතෙන දෙයක් තමයි. ආදරය කරන කෙනෙක්ගේ  වචනයකට පුළුවන් මිනිහෙක් හොඳ කෙනෙක් කරන්නත් ඒ වගේම අන්තිම ජරා මිනිමරුවෙක් කරන්නත්. ඒක අතකින් බැලුවොත් ආදරය හරිම ආත්මාර්ථකාමියි. හිතල බලන්න ඔයා කොල්ලෙක් නම් , තමන්ගේ පෙම්වති වෙන කොල්ලොත් එක්ක හිනා වේවි කතා කර කර ඉන්නවා බලාගෙන ඉන්න පුලුවන්ද ? ඔයා කෙල්ලෙක් නම් , තමන්ගේ පෙම්වතා වෙන කෙල්ලෙක් එක්ක පාරේ ඇවිදගෙන යනවා බලාගෙන ඉන්න පුලුවන්ද? එහම හිතනකොටත් සමහර යට කේන්ති යනවා නෙහ් ? :P

දෙන්නෙක් ආදරය කරනකොට ඇත්තටම ඒ දෙන්න ඉන්නේ හිරගෙවල් වල නෙමෙයිද ? තමන් ඉස්සර කරපු පිස්සු වැඩ කරන්න විදියක් නැතුව කොල්ලෝ තැවෙනවා. ඉස්සර හිටිය වගේ නිදහසේ , තමන්ට කැමති ඇදුමක් ඇඳගෙන , තමන්ට කැමති කෙනෙක් එක්ක කතා කරකර ඉන්න නැති ඒක ගැන කෙල්ලෝ තැවෙනවා. මම කියන්නේ බොරු නෙමෙයි කියල මේක කියවන හැමෝම දන්නවා ඇති කියල මම හිතනවා. නමුත් මේක ආදරයද ? නිදහසේ කුරුල්ලෝ කිරිල්ලියෝ වගේ හිටපු අය එක පාරටම දම්වැල් දාල බැඳලා දැම්ම වගේ. වෙන කව්රුවත් නෙමෙයි ඒ දෙන්නමයි. අනේ ඇත්තට මොන විකාරයක්ද කියලත් හිතෙනවා. ආදරය කරන ගමන් නිදහසේ ඉන්න බැරිද හැබෑටම ? 

මම හිතනවා ඔයාල ගේ අදහස් අරගෙන මේ ලිපියට උත්තරයක් ලියා ගන්න පුළුවන් වෙයි කියලා . ඒ හින්ද ඔයාලගේ අදහස් පහලින් කුරුටු ගාල යන්න පුළුවන් විදියකට.




 



Saturday, May 26, 2012

ආදරණීය කිරි අම්මේ.....

ඇත්තෙන්ම මේ දවස් ටිකේම කිසිම දෙයක් ලියන්න තරම් වෙලාවක් තිබුනේ නෑ. ඊට හේතුව තමයි අපේ කිරි අම්මා ආන්තරා වීම. මැයි 18 වෙනිදා ලිපියක මුල් පේලි දෙක තුනක් ලියනකොට තමයි ඇයට කලන්තේ ගතියක් ඇතිවෙලා මට කතා කලේ. ඊට විනාඩි 10 කට පස්සේ මගේ අත්දෙක මතම ඇය අවසන් හුස්ම හෙලුවා. අවරුදු 74ක් තිස්සේ කාටවත් කරදරයක් නැතිව , දරුවන් 9 දෙනෙක් පෝෂණය කරලා ලොකු මහත් කරලා ඒ අයට නිවැරදි මාර්ගය පෙන්නලා දීපු උත්තමාවියක් ඒ දවසේ සදහටම අපේ පව්ලෙන් සමුගත්ත. 

මට මතක ඇති කාලෙක ඉඳන් කිරි අම්මා අපිව බලාගත්තේ බොහොම ආදරෙන්. ඒ වගේම තමයි අපි කිරි අම්මා ගේ ගෙදර ගිය කවමදාවත් හිස් අතින් ගෙදර එන්න නම් සිද්ද උනේ නෑ.
" දුවේ ඉස්සරහ ගහේ ගස්ලබු ගෙඩියක් ඇති එක
කඩා ගන්නකො . පොඩි පුතා අසයි නෙව ගස්ලබු කන්න "
" පුතේ උඩහ අනෝද ගහේ ගෙඩියක් පැහිල තිබුන දැන් නම් ඉදිලත් ඇති "
" ඔන්න මම ලොකු මාමට කියල
මැන්ගුස් ටිකක් කඩවල කවරෙකට දාල තිබ්බ එකත් අරන් යන්න යනකොට "
මේ විදියට අපි එහෙ ගිය හැම දවසකම වගේ මොනවම හරි දෙයක් අපේ අත්වලට පුරවල දුන්න. සමහර වෙලාවකට ඒක කරදරයක් වගෙත් හිතුන. තමන්ගේ දරු මුණුබුරන් වෙනුවෙන් තිබුන ඇගේ සෙනෙහස නම් කියල නිම කරන්න බෑ
.  



අපේ ලොකු මාම ට මල්ලියෙක් හම්බ උන දවසේ ඉදන් එයත් එක්ක තමා වැඩිම කාලයක් ගතකලේ. ටිකක් ලොකු වීගෙන එනකොටම බුදුන් වදින හැටි , කරණීයමෙත්ත සුත්‍රය වගේ ඒවා මල්ලිට කටපාඩම් කෙරෙව්වා. සතුන්ට හිංසා නොකරන්න , බොරු නොකියන්න පුරුදු කළා. ඒ අතරේ තමයි කිරි අම්මා ලෙඩ උනේ. ඊට පස්සේ අපේ ගෙදර තමයි වැඩිම කාලයක් ගතකලේ. ලෙඩ සනීප උනාට පස්සෙත් අපේ ගෙදරම කාලය ගතකලේ ඇවිදින්න තිබුන අපහසුව නිසා. අපේ පව්ලේ හැමෝම ගෙයින් බැහැරට යනකොට කිරි අම්මට වැඳලා තමයි යන්නේ. ඒ වෙලාවට ' දළදා සමිඳු පිහිටයි , තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි ' කියල ආශීර්වාද කරන්න කිරි අම්මා අමතක කලේ නෑ. දැන් ඉතින් එහෙම ආශීර්වාද කරන්න කව්රුවත් නෑ කියල හිතෙනකොට ඇතිවෙන්නේ මහා පාළුවක්.

ඒ කෙසේ වෙතත් අන්තිම මොහොතේත් ඒ ආදරණිය මුහුණේ සිනාවක් සටහන් වී තිබුණා. කිසිම දුකක් නොවිඳ අවසන් ගමන් ගියා. ඒ ආදරණිය මතකය වෙනුවෙන් තමයි මම මේ ලිපිය ලියන්නේ. 

කිරි අම්මේ.......ඔබේ මීළඟ උපත වාසනාවන්ත එකක්ම වේවා......! හැකි ඉක්මනින් මේ සසර කෙලවර කර ගැනීමට ඔබට හැකිවේවා...........!

Tuesday, May 15, 2012

අපායටම පලයන්..

හප්පා මේ වගේ කාලකන්නි දවස් ටිකක් සෙට් උනේ නෑ මතක ඇති කාලෙකින්. කරන්න වැඩකුත් නෑ. කොහෙවත් යන්න විදියකුත් නෑ. එක්කෝ මොනවත් වැඩක් සෙට් වෙන්න ඕන. එහෙම නැත්නම් පැට්‍රොල් මිල අඩු වෙන්න ඕන ඇවිදින්න යන්නවත්. මුණු බුකියේ යන්නත් කම්මැලි. කියල වැඩක් නෑ අප්පා තනි ඇහැට ඇඩෙනවා. ලියන්න තරම් දේකුත් උනේ නෑ මේ දවස් ටිකේම. වෙසක් පහු වෙලා බක්ති ගීත ප්‍රසංගයකට තබ්ලා ගහන්න ගිය ඊට පස්සේ මොනවත් නෑ. මෙහෙම ගියොත් නම් කම්මැලිකමේ මැරිලා යන්න තමා වෙන්නේ. 


පාඩම් කරන දවස් වල නම් කරන්න අනම් මනම් වැඩ කොච්චර නම් තිබුනද. ෆිල්ම් බලන්නද ගමන් බිමන් යන්නද වැඩ කෝටියයි. එත් ඒවා කරන්න වෙලාවකුත් නෑ. දැන් ඕන තරම් වෙලා තියෙනවා ඒවා එකක්වත් කරන්න වත් හිතෙන්නෙත් නෑ. ෆිල්ම් නම් අප්පිරියයි. game ගහන්නත් බෑනේ දැන් තියන ඒවාට අම්බානකට VGA ,RAM ඉල්ලනවා. මිට පස්සේ නම් මෙහෙම නිවාඩු එපා අයියෝ.... මෙහෙම කම්මැලි කමෙන් ගෙවුන කාලයක් මට නම් මතක නෑ.


මගේ දුක් ගැනවිල්ල ඉවරයි.  :(

Tuesday, May 8, 2012

දන්සල් වැඳීම

මේ පාරත් වෙසක් උත්සවේ ඉවරවෙලා ගියා. වෙසක් කුඩු හැදුවා පහන් පත්තු කලා තොරන් හැදුවා යනාදී වශයෙන් එකී මෙකී නොයෙක් වැඩ කලා . සමහර කට්ටිය දන්සලුත් දුන්න.  කොහොම කොහොම හරි වෙනද වෙසක් වලට වගේම මේ පාරත් මම තව අඳුනන අයිය කෙනෙක් එක්ක බයිසිකලේ සෙට් කරගෙන ලැහැස්ති උනා දන්සල් වඳින්න යන්න. මුලින්ම සෙට් උනේ මන්යොක්ක දන්සලක්. උදේටත් කලා හිටියේ නැති හින්ද එකෙන් හොදට කෑවා  බඩ පිරෙන්නම. දන්සල් තිබුනට බඩ පිරෙන්න කන්න තියෙන්නේ ඒ වගේ දන්සල් වලින් විතරනේ. වැඩි හරියක් තියෙන්නේ සිසිල් පැන් දන්සල්. අත්දැකීම් තියන හින්ද හොඳට කෑවා. 

දැන් ඉතින් යනවා යනවා ඉවරයක් න.දන්සල් හම්බ වෙන්නෙත් නෑ. අපි දෙන්නටම දැන් මාර ප්‍රශ්නේ. අයි ඉතින් වෙනදට සාමාන්‍යයෙන් දන්සල් 7ක් 8 ක් සෙට් වෙලා ඉවරයි. අපි හිතුව අපි වෙසක් කියල වෙන දවසක එලියට බැස්සද දන්නෙත් නෑ කියල. ඔන්න හිතුව විතරයි හම්බ උනා එකක්. බැලින්නම් එක මන්යොක්ක දන්සලක්. ඔන්න ඔහේ ඕන එකක් වෙන්න කියල ඒකෙන් කෑවා. ඉති අයිමත් යනවා යනවා ඉවරයක්ම නෑ. කොහොමින් හරි ගොඩකවෙලටම ගියා. සුප් දන්සලක් විතරයි මගදී හම්බ උනේ. බත් දන්සල් තිබුනට ඒවායින් කන්න නම් හැතැප්මක් විතර දිග පෝලිමක ඉන්න ඕන. ඒ හින්ද ඒවා දිහා බැලුවේ වත් නෑ. 


මගේ හොඳ යාලුවෙක් ඉන්නවා ගොඩකවෙල. ඉතින් එහෙත් ගිහින් ටිකක් වෙලා කතා කර කර ඉඳල අපහු එන්න පිටත් වෙන්න හදනකොට දැක්ක තවත් එහාට වෙන්න දන්සලක් තියනවා. කෝකටත් කියල ගියා බලන්න. හරිම සන්තෝසයක් දැනුන එක දැකල. එකත් මන්යොක්ක දන්සලක්. ඒකෙන් කන්නේ නැතුව ආපහු හැරුන. කිරිඇල්ලේ අපේ අයිය කෙනෙක් දන්සලක් දෙනවා කියල ආරංචියක් ඇවිත් තිබුන. එකටවත් ගිහින් බලනවා කියල හිතාගෙන එන්න පිටත් උනා. මෙන්න බොලේ එනකොට තවත් මන්යොක්ක දන්සලක්. දැලට කලා හිටපු නැති හින්ද දවල්ටත් මන්යෝක්කම කෑවා. ඊට පස්සේ ගියා කිරිඇල්ලේ. යනකොට එකත් ඉවරවෙලා. 

ඔන්න ඔහොම තමා මේ පාර අපි දන්සල් වැන්දේ. මන්යොක්ක වලින්ම දවසම ගොඩ දැම්ම අන්තිමට. :D