Saturday, May 26, 2012

ආදරණීය කිරි අම්මේ.....

ඇත්තෙන්ම මේ දවස් ටිකේම කිසිම දෙයක් ලියන්න තරම් වෙලාවක් තිබුනේ නෑ. ඊට හේතුව තමයි අපේ කිරි අම්මා ආන්තරා වීම. මැයි 18 වෙනිදා ලිපියක මුල් පේලි දෙක තුනක් ලියනකොට තමයි ඇයට කලන්තේ ගතියක් ඇතිවෙලා මට කතා කලේ. ඊට විනාඩි 10 කට පස්සේ මගේ අත්දෙක මතම ඇය අවසන් හුස්ම හෙලුවා. අවරුදු 74ක් තිස්සේ කාටවත් කරදරයක් නැතිව , දරුවන් 9 දෙනෙක් පෝෂණය කරලා ලොකු මහත් කරලා ඒ අයට නිවැරදි මාර්ගය පෙන්නලා දීපු උත්තමාවියක් ඒ දවසේ සදහටම අපේ පව්ලෙන් සමුගත්ත. 

මට මතක ඇති කාලෙක ඉඳන් කිරි අම්මා අපිව බලාගත්තේ බොහොම ආදරෙන්. ඒ වගේම තමයි අපි කිරි අම්මා ගේ ගෙදර ගිය කවමදාවත් හිස් අතින් ගෙදර එන්න නම් සිද්ද උනේ නෑ.
" දුවේ ඉස්සරහ ගහේ ගස්ලබු ගෙඩියක් ඇති එක
කඩා ගන්නකො . පොඩි පුතා අසයි නෙව ගස්ලබු කන්න "
" පුතේ උඩහ අනෝද ගහේ ගෙඩියක් පැහිල තිබුන දැන් නම් ඉදිලත් ඇති "
" ඔන්න මම ලොකු මාමට කියල
මැන්ගුස් ටිකක් කඩවල කවරෙකට දාල තිබ්බ එකත් අරන් යන්න යනකොට "
මේ විදියට අපි එහෙ ගිය හැම දවසකම වගේ මොනවම හරි දෙයක් අපේ අත්වලට පුරවල දුන්න. සමහර වෙලාවකට ඒක කරදරයක් වගෙත් හිතුන. තමන්ගේ දරු මුණුබුරන් වෙනුවෙන් තිබුන ඇගේ සෙනෙහස නම් කියල නිම කරන්න බෑ
.  



අපේ ලොකු මාම ට මල්ලියෙක් හම්බ උන දවසේ ඉදන් එයත් එක්ක තමා වැඩිම කාලයක් ගතකලේ. ටිකක් ලොකු වීගෙන එනකොටම බුදුන් වදින හැටි , කරණීයමෙත්ත සුත්‍රය වගේ ඒවා මල්ලිට කටපාඩම් කෙරෙව්වා. සතුන්ට හිංසා නොකරන්න , බොරු නොකියන්න පුරුදු කළා. ඒ අතරේ තමයි කිරි අම්මා ලෙඩ උනේ. ඊට පස්සේ අපේ ගෙදර තමයි වැඩිම කාලයක් ගතකලේ. ලෙඩ සනීප උනාට පස්සෙත් අපේ ගෙදරම කාලය ගතකලේ ඇවිදින්න තිබුන අපහසුව නිසා. අපේ පව්ලේ හැමෝම ගෙයින් බැහැරට යනකොට කිරි අම්මට වැඳලා තමයි යන්නේ. ඒ වෙලාවට ' දළදා සමිඳු පිහිටයි , තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි ' කියල ආශීර්වාද කරන්න කිරි අම්මා අමතක කලේ නෑ. දැන් ඉතින් එහෙම ආශීර්වාද කරන්න කව්රුවත් නෑ කියල හිතෙනකොට ඇතිවෙන්නේ මහා පාළුවක්.

ඒ කෙසේ වෙතත් අන්තිම මොහොතේත් ඒ ආදරණිය මුහුණේ සිනාවක් සටහන් වී තිබුණා. කිසිම දුකක් නොවිඳ අවසන් ගමන් ගියා. ඒ ආදරණිය මතකය වෙනුවෙන් තමයි මම මේ ලිපිය ලියන්නේ. 

කිරි අම්මේ.......ඔබේ මීළඟ උපත වාසනාවන්ත එකක්ම වේවා......! හැකි ඉක්මනින් මේ සසර කෙලවර කර ගැනීමට ඔබට හැකිවේවා...........!

5 comments:

  1. කිරි අම්මා වාසනාවන්ත තැනක ඉපදිලා ඇති..

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතෙනවා සහෝදරයා....

      Delete
  2. අපිට ජීවිතේ ඒ තරමට ලං වුන අය ඈත්වෙනකොට දුකයි තමා. දරු මුණුබුරු පරම්පරාවක් බලල, ඒ අයගෙ ආදරය සැලකුම් මැද ජීවිතේ අවසන් කාලෙ ගත කරපු කිරි අම්ම වාසනාවන්තයි. වෙලාවකට හිතෙනව අපිට අම්මට තාත්තටත් වඩා ආච්චිල සීයල ආදරෙයි කියල. කිරි අම්මට, සසර ගමන අවසන අමා මහ නිවන්සුව ලැබේවායි කියල පතමු.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් දුක් උන කියල මොනවා කරන්නද , මගේ පැතුමත් එකම තමයි.

      Delete
  3. We are meant to lose people we love.How else we'd know how important they are to us..?

    ReplyDelete