Thursday, December 26, 2013

පළවෙනි පන්ති කට් කිරිල්ල

ඒ කාලේ මම හතර වසරට ආපු ගමන්. ඉගෙන ගත්තේ රත්නපුරේ කන්ද උඩ ඉස්කෝලේ ප්‍රාථමික විදුහලේ. දන්නා කට්ටිය දන්නව ඇති ඉස්කෝලේ මොකක්ද කියල . ඒ කාලෙ ඇපල් නියම මැරයා. හැමෝම බයයි ඇපල් ට . ඒ උනාට මට සෑහෙන්න යාලුවොත් හිටිය. කොච්චර වලි දාගත්තත් ගහ මරා ගත්තත් මට වැඩිය දඬුවමක් දෙන්න මිස්ල ට පුළුවන් උනෙත් නෑ.හේතුව ගොඩක් වෙලාවට මම පන්තියේ එක දෙක තුන අතර අනිවා ඉන්නවා. ඒ හින්ද මිස්ල ත් අසරණ වෙලා හිටියේ මට හරිහමන් දඬුවමක් දෙන්න විදියක් නැතුව

කතාව වෙන පැත්තකට ගියා. ඔන්න ඒ කාලෙ අපිට නැටුම් වලට උඩහ ඉස්කෝලෙට යන්න ඕන. ඒ කිව්වේ ප්‍රාථමික කොටස ඉස්කෝලෙන් පහළ වෙනම කොටසක තිබුනෙ. ඒ හින්ද නැටුම් තියන දවස් වලට හෙන වටයක් ගහල නැටුම් කාමරේට යන්න ඕන . ඉතින් මට ඔය වටේ යන්න කම්මැලි හින්ද කෙටි මාර්ගයක් හදාගෙන තිබුන ඔතනට යන්න. කෙටි පාර මහා බයානකයි. එහෙම ලේසියෙන් කෙනෙකුට යන්න බෑ. අඩි පහලවක් විතර තාප්පයක් නගින්න ඕන ඔය වැඩේට . දැන් කට්ටිය බලයි මේකා තලගොයෙක්ද තාප්ප වල බඩගාන්න කියල . මෙහෙමයි. තාප්පෙට වම පැත්තෙන් ගස් වල මුල් ටිකක් එල්ලිලා තියනවා. ඕවයේ එල්ලිලා තමයි නගින්නේ

ඔන්න පළවෙනියටම නැටුම් වලට යන දවස. තියන තැන දන්නෙත් නෑ. කට්ටිය පාර දිගේ උඩහට දුවනවා. මට ඉතින් කම්මැලි කම හින්ද නැග්ග තාප්පේ දිගේ. මල ජුලියයි. කට්ටිය නෑ. මාව හොල්මන් උනා . දැන් නැටුම් පන්තිය තියන තැන හොයාගන්නත් බෑ. පැය කාලක් විතර දඟලල යන්තම් පන්තිය තැන නම් හොයාගත්ත. ඒත් ඒ වෙනකොටත් මිස් පන්තියේ උගන්නනවා. ඒ මිස් පට්ටම සැරයි කියල ඉස්සෙල්ල අහල තිබුනා

මට හීන් දාඩිය දැම්ම. දැන් මොකද කරන්නේ...පන්ති භාර මිස්ට අහු උනොත් කන පලාගන්න පුළුවන් .කරන්න දෙයක් නෑ.උඩහ ඉන්නත් බෑ. කෙල්ලෝ විතරනේ උඩහ ඉන්නෙ .බැලුව වට පිට. කව්රුවත් පේන්න නෑ. හෙමින් සැරේ වටේ පාරෙන් පහලට ආව. මල කෙලියයි.මිස් පන්තියේ . හරියන්නේ නෑ වැඩේ. රිංගුවා කටුකම්බියක් අස්සෙන්. මිස්ට නොපෙනෙන්න ගිය හෙමින්ම පන්තියේ පිටිපස්සට

දැන් තමයි ලොකුම අවුල. කාටවත් නොපෙනෙන්න ඉන්නත් ඕන. අහු උනොත් ඉවරයි. කාලච්චේද දෙකක් ඉන්නත් එපැයි. කරන්න දේකුත් නෑ. ඔන්න ඉතින් ඉන්නවා ඉන්නවා ඉන්නවා .................
....................................
............................
...............
.........
....
නැටුම වලට ගිය උන් එන පාටක් නෑ . බැලුව වට පිට. 

ම්හු. පට්ටම කම්මැලියි .
..
..
..
..
..
..
..
..
.

අපේ පන්තිය පිටිපස්සේ ටිකක් දිය සීරාව වගේ තිබුනා.ඒ හින්ද පොලව ටිකක් බුරුල් ගතියක් වගේ තිබුන. වෙන කරන්න දේකුත් නෑනෙ. හොයා ගත්ත එතනම තිබිල කෝටු කෑල්ලක්. ඕකෙන් පොලව කෙටුව. කොටලා කොටලා හැදුව පාත්තියක් . වටේට ගල් කැට තියල ලස්සන කළා. අඩි 5x2 විතර ඇති. කොහොම හරි ඕක කරලා ඉවරවෙනකොට කට්ටිය දුවල එනවා ඇහුනා. මමත් කට්ටියට සෙට් වෙලා හෙමින් සැරේ පන්තිය ඇතුලට ගියා

පස්සෙ දවසක අපේ ලොකුමිස් , අතුගාන්න හිටපු ජොසපින් අක්කාගෙන් අහනවා ඇහුන කවුද පාත්තිය හැදුවේ කියල . ඊට පස්සේ ඒකෙ මල් වවල තිබුනා මතක හැටියට.

ඔන්න ඔහොමයි මම පන්ති කට් කොරන්න පටන් ගත්තේ.

(සමාවෙන්න යාලුවනේ මට මේ කාලේ ඔයාල ලියන ඒවා බලන්න තරම් වෙලාවක් නෑ .මේක දැම්මෙත් පාලුවට යන්න දෙන්න හොඳ නැති හින්ද. තරහ වෙන්න එපා ඒ හින්ද. හැකි උන ගමන් මම පුළුවන් විදියට කියවන්නම්. වැඩ අධිකයි.ඔක්කොටම කලින් ඉගෙනගෙන ඉන්න එපැයි. )


Thursday, November 21, 2013

පොඩි කාලෙට ගියෙමි.



ගත්තේ මෙතනින්.
ඔන්න අද වැඩ කර කර ඉන්න ගමන් ඒක පාරටම මට පරණ කාලෙ මතක් උනා. මතක් වෙලා පටස් ගාල අන්තර්ජාලේ පැත්තට කරක් ගහල බැලුව. මෙන්න බොලේ බඩු තියනවා. මට පුදුම සතුටක් දැනුනේ ඒ වෙලාවේ. දන්නවද මොනවද හම්බ උනේ කියල..?  

Contra Force

දැන් සමහර අය බලනවා ඇති මේ මොන හරුපයක්ද කියල. පොඩි එවුන් සහ වයසක කට්ටිය තමයි එහෙම බලන්නේ.නමුත් මගේ වයස් සීමාවෙ ඉන්න ගොඩක් අය මේ නම ඉස්සර කාලේ ගොඩක් අහල ඇති. මොකද දැන් කාලෙ වගේ පරිගණක තිබුනෙ නෑ හැමෝටම. මම නම් 5 වසර ට විතර ආවට පස්සෙ තමයි මුලින්ම පරිගණකයක් දැක්කෙත් අම්මගේ ඔපිසියේදී. ඒ කාලේ අපිට ඔච්චර පහසුකම් තිබුනෙත් නෑ නොවැ.

එතකොට මම හය වසරේ විතර ඇති. දහම් පාසලේ මගේ හොඳම යාළුවා උනේ මල්ලි කෙනෙක්. නම චාමර. මල්ලි කෙනෙක් උනත් මිනිහව අපේ පන්තියට තමයි දාල තිබුනෙ. පවුලේ එකම කොලුවා. ඉතින් ගෙදර අම්මයි තාත්තයි කියන කියන හැම එකක්ම මේකට අරන් දුන්න.ගෙදර තිබුනෙ දහම් පාසලට පහල පාර අයිනේ. 

දවසක් මේකා ආව උදේම මාරම සන්තොසෙකින්. 
"අයියේ මට TV game එකක් අරන් දුන්නා ".

මම අන්දුන් කුන්දුන්. 
"ඒ කිව්වේ ? "

"ඒක TV එකට සෙට් කරලා ගේම් ගහන්න පුළුවන්. "

ඒ කාලේ වෙනකොට මම දැකල තිබුන එකම ගේම් ඒක තමයි මෙන්න මේක. 


දන්නා කට්ටිය දන්නව ඇති මේක ඒ කාලෙ කොච්චර ජනප්‍රියද කියන එක. මේවා තිබුනෙත් බොහොම ටික දෙනෙක් ගාව විතරයි. ඒ හින්ද අයිතිකාරයාගේ යාලුවන්ට තමයි ඕව සෙල්ලම් කරන්න පින ලැබුනේ. මේ වගේ එකකින් එහාට අපි ගේම් දැකල තිබුනෙ නෑ. ඉතින් ඒවා කොහොම වෙන්න ඇද්ද කියල මට හිතා ගන්න බැරිවුනා. 

දහම් පාසල ඇරෙනකම් ඕක ගැන තමයි කතා කර කර හිටියේ. 12 30 ට ඇරුන ගමන් කෙලින්ම දිවුවේ චාමර මලයාගේ ගෙදරට. ඔන්න දැන් මිනිහ ගේම් සෙට් ඒක එලියට ගත්ත.අරගෙන TV එකට සෙට් කළා. ඒ අතරේ ඒක කොහොමද හරියට සම්බන්ධ කරන්නෙ , ඒ වගේම හරි විදියට සුසර කරගන්න විදිය (Tune) එහෙමත් කියල දුන්න. ඔන්න අන්තිමට ගේම පටන් ගත්ත. මගේ අම්මෝ....මේ මොනවද මේ..? දෙපාරක් පිස්සු හැදුනා මට. ඔන්න ඔහොම මුලින්ම ගහපු ගේම් ඒක තමයි Contra Force කියන්නෙ.

හැම සතියෙම ඉරිදට ඕක ගහන්න මග බලාගෙන ඉන්නෙ. ඉස්කෝලේ ඇවිත් කියවන්නෙත් ඕක ගැන විතරයි.ගෙදර ගියත් කියවන්නෙ ඕක ගැන. සමහර දවස් වලට දහම් පාසැල ඇරිලා ගෙදර යන්නත් අමතකයි. ඒ වගේ දවස් වලටතාත්ත ඇවිත් එක්කරගෙන යනව.එදාට ඉතින් එක්කෝ ගුටි කන්න වෙනවා එහෙම නැත්තම් කන පිරෙන්න බැනුම් අහන්න වෙනවා. 

අහම්බෙන් අතීතෙට ගිය TV ගේම් එකක් හින්ද. අන්තර්ජාලෙන් හොයල සෙල්ලම් කළා අද දවල් . දුකත් හිතුනා මට ඒ අතරේදී. අපේ වයසේ අය තමයි මුලින්ම සහ අවසාන වතාවට TV ගේම් ගහපු අය. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.


Tuesday, November 12, 2013

ලාබයි ඇපල් - දැන් අවුරුදු දෙකයි.




ඔන්න කොහොමින් කොහොමින් හරි දෙවෙනි උපන් දිනෙත් පහුවුනා.අද නෙමෙයි ඊයේ තිබුනෙ. ඒ කියන්නෙ 2011 - 11 - 11 වෙනිදා පටන් ගත්ත මේ බ්ලොග් පැටියා ට දැන් අවරුදු දෙකක් වෙනවා. යන්තම් බඩගාගෙන යන්න පුළුවන්. තවම දනගාන්න බෑ. එකට තව කල් යයි. මේ සන්තෝසෙට මගේ යාළුවා සහ මම ඊයෙ දවසෙම පාටි දැම්ම. වෙන කොහෙවත් නෙමෙයි සිනමන් ග්‍රෑන්ඩ් හොටෙල් එකේ. හොඳට කාල හොඳට බීල නටල හෙන ජොලියක් ගත්ත ඉතින්. කියල වැඩක් නෑ. අවුල කියන්නෙ අපේ අම්ම කතා කලානේ. එතකොටම ඇහැරුනා .  

අවරුදු දෙකක් කියන්නෙ මහා ලොකු කාලයක් නෙමෙයි.නමුත් බ්ලොග්කරණයේදී නම් අවරුදු දෙකක් කියන්නෙ දැනුම් සම්භාරයක්. මිතුරන් මහා ගොඩක්. ඒ වගේම තමයි සතුට දුක බෙදාගන්න අම්බලමක්. ලෝකේ කොහේ හිටියත් මෙතැනදී අපි හැමෝම හම්බ වෙනවා. හම්බ වෙලා එක එක්කෙනාට සිද්ධ උන ජොලි සිද්ධි දුක සිද්ධි අත්දැකීම් බෙදාහදා ගන්නවා. 

මට ඒ කාලෙ ඉඳන්ම මගේම කියල වෙබ් අඩවියක් හදාගන්න උවමනා වෙලා තිබුනා. ඒ කාලේ මම බ්ලොග් ගැන දන්නේ නෑ . කොහොම හරි මගේ යාලුවා අංජන මට දවසක් ලින්කුවක් එවල තිබුනා. මමත් බැලුව. ඒකෙ තිබුනෙ බ්ලොග් එකක්. නම තමයි මගේ ලෝකය . මේක දැක්කෙ නැත්නම් මම බ්ලොග් එකක් පටන් ගන්න තියා ඒ ගැන දැනගන්නේවත් නෑ තව කාලයක් යනකම්. ඒක කාලයක් තිස්සේ බලල අන්තිමට මම මගේම කියල එකක් පටන් ගත්ත. නමක් කල්පනා කරනකොට මගේ ඔලුවට ඒක පාරටම ආවේ ඒ ටික කාලයකට කලින් ප්‍රදර්ශනය වෙවී තිබුන නාට්‍යයක නමක්. ඉතින් ඒ නම තමයි ලාබයි ඇපල්.

මෙතැනදී හම්බ උන මිතුරන් කැල , මිතුරුකම , සුහදකම සෑහෙන්න වටිනවා. මේ බ්ලොග් කරන අයගෙන් මම පෞද්ගලිකව අඳුනන අය ඉන්නෙ දෙන්නයි එහෙම නැත්නම් තුන් දෙනයි. නමුත් ඇපල් නමින් මා හඳුනන අය ඕන තරම් අන්තර්ජාලයේ ඉන්නවා . මහා විශාල ප්‍රමාණයක් නොවුනත් , ඒක පොස්ටුවකට වැටෙන හිට් ගාන 200 පන්නන්නෙ ඉඳල හිටලා උනත් මට ඒ හොඳටම ඇති. ඉස්සර නම් හිට් ගාන 100 පන්නම දැනෙන සතුට කියල වැඩක් නෑ. දැන් නම් 250 පන්නල එනවා.

සමහර කාල වලට මාසෙකට එක පෝස්ටුවක් විතරක් දාපු කාලවලුත් තිබ්බ. ඒකට සමාව ඉල්ලලා පෝස්ටුවක් දැම්මම මට බැනගෙන බැනගෙන යන අයත් ඉන්නවා . ඒ හින්දා මම තීරණයක් ගත්ත ආයිත් සමාව නොඉල්ලන්න වැඩ කොරන්න. නැත්නම් හැමදාම මේ සුමේ කොරන්න පුළුවනැයි මම අහන්නෙ . ඒ බැනුම් වලින් ඇත්තටම මාව දිරිමත් උනා.කාලෙයක් නොලියා හිටියත් මාව අමතක වෙලා නෑ කියල හිත යටින් සතුටකුත් එක්ක කඳුලකුත් මතුවුනා. සතුටට. එහෙම දිරිමත් කරපු හැමෝටම ගොඩාක් පින්. හැමෝගෙම හයියෙන් මෙච්චර දුරක් එන්න ලැබුන ඒක ගැන මට ගොඩක් සතුටුයි. 

ඇත්තටම කියනවනම් මම ඊයෙ තමයි මේක දාන්න ඕනා කියල හිතාගෙන ආවෙ. බෝඩිමේ ඉඳන් ගෙදර ඇවිත් හොඳට නිදාගෙන ඇහැරලා තිබුන වැඩ ටික කරද්දී මට ඉබේම අමතක වෙලා ගියානේ...බලන්නකෝ එකෙත් හැටි. මගේ යාළුවො මගේ මතක ශක්තියේ විශිෂ්ටත්වය ගැන එක එක ඒවා කියන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ බලාගෙන යනකොට . හනේ හපොයි. 

එහෙනම් මෙන්න මම ඇත්තටම උපන් දිනෙක කරන්න කැමති දේ...



මට ජයවේවා.....!

Thursday, November 7, 2013

කසාද බැඳිල්ල

ජිවිතේ කියන්නෙ හරි පුදුමාකාර දෙයක් කියල සමහර වෙලාවට මට හිතිලා තියනවා. කාලයත් එක්ක ජීවිතේ කොච්චර නම් වෙනස් වෙලාද. පොඩි කාලේ මවපු හීන සමහරක් අද වෙනකොට හැබෑ වෙලා . තවත් සමහර හීන තේරුමක් නැති මහා පුස් දේවල් කියලත් තේරුණා. මෙච්චර දේවල් වෙන ජීවිතේ සිද්ද වෙන ලොකු වෙනසක් තමයි විවාහය කියන එක මම නම් දකින්නෙ.

කව්රු කොහොම කිව්වත් පොඩි කාලේ කියල නෑ කෙල්ලෝ කොල්ලන්ට කැමතියි. කොල්ලෝ කෙල්ලන්ට කැමතියි . ඒ කාලේ ඉතින් ලස්සන කෙල්ලෙක් එහෙම කතා කරලා යනකොට අනික් කොල්ලන්ගේ මුනවල් දැක්කත් ඇති පට්ට ගටක් එනවා . ඇයි ඉතින් ඒ කාලේ එහෙම එකක් වෙන්නෙත් බොහොම කලාතුරකින්නේ.උනාම කොල්ලෝ අතරේ අර කොල්ලා මහා වාසනාවන්තයෙක් හැටියට තමයි සලකන්නේ. (අත්දැකීමෙන් එහෙම කියනවා නෙමෙයි ඕං.

ඔහොම ගිහින් ගිහින් ගිහින් ඉගෙනගෙන ඉවරවෙලා හෝ නැතා හෝ අන්තිමට තමන්ගේ ජිවිතේ ඉතුරු කාලය එකට ගත කරන්න පුළුවන් කෙනෙක් එක්ක කසාද බඳිනවා. ඊට පස්සෙත් නිදහසක් කියල එකක් නෑ කොහොම උනත්. කොච්චර නම් වැඩ තියනවද ඊට පස්සෙ. නේ.....හ් .  හැබෑටම කසාද බඳින ඒකෙ තේරුම මොකක්ද? මම කියන්නෙ ලංකාවේ විදියට. පිටරටවල් වල නම් ඕන වෙලාවක දෙන්නට වෙන් වෙලා යන්න පුළුවන්නේ. නමුත් ආසියාතික ගොඩක් රටවල එහෙම නිදහසක් දකින්න ලැබෙන්නෙ නෑ.

සමහර අය කියනවා මේවා සිද්ද වෙන්නෙ දෙවියන්ගේ කැමැත්තට කියල. සමහර අය කියනවා සසරෙ පතාගෙන ආපු හින්ද කියල.(ඒකනේ යාළුවෙලා මාස දෙකෙන් පැනල ගිහින් කසාද බඳින්නේ..)  කොච්චර උනත් තමන්ගෙ ආර්ථික තත්වෙ හොඳ නැත්නම් එහෙමත් නැත්නම් ඉන්න හිටින්න හරි හමන් තැනක් නැත්තම් , හදිස්සි වෙලා කරගන්න කසාදෙ ගාල ගෝට්ටි පිරුණු සුරපුරයක් බවට පත් වෙනවා.ඉතින් මේ සුරපුරේ ටික දවසක් ඉන්නකොට දෙන්නගේ නොගැලපීම් වෙනදට වඩා හොඳට පේන්න ගන්න පටන් ගන්නවා. ඊට පස්සෙ කසාදෙ තනිකරම mortal combat වගේ තමයි.

තවත් සමහරු ගෙවල් වල බල කිරීමට විවාහ වෙනවා. ඒ මොකද අම්මල තාත්තලාගේ හිත නරක කරන්න තියන අකමැත්ත නිසා හෝඑයාලට තියන බය නිසා. කලින් තරම් නැතිවුනත් මේකෙත් ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. ඒ උනත් මම දැකල තියනවා එහෙම බැඳපු අය ටික කාලෙකට පස්සෙ බලනකොට ආදරෙන් වෙලිලා එතිලා ඇඹරිලා ලෝකෙටම ආදර්ශයක් විදියට ඉන්නවා. එකෙන් සනාථ වෙනවා හැම දෙයක්ම වෙන්නෙ හේතුවක් ඇතිව කියල. 

තව කියන්න ඒව නම් සෑහෙන්න තියනවා. ඒත් එහෙම උනොත් කට්ටියට බලන්න එපා වෙන හින්ද දැනට නවත්තන්නම් . හිතුනොත් ඉතුරු ටිකත් පස්සෙ වෙලාවක ලියල දාන්නම්කො....


Wednesday, November 6, 2013

කම්මැලි වගේ ...

ඔන්න සෑහෙන කාලෙකට පස්සෙ ආයිත් ලිපියක් දාන්න හිතුනා. මෙච්චර දවසක් ලියන්න බැරිවුනේ දැඩි ලෙස කාර්යබහුල වෙලා හිටපු හින්දා. දැන් කස්ටිය කල්පනා කරනවා ඇති මොකක්ද යකෝ මේකට මෙච්චර කාර්යබහුල වෙන්න තරම් තිබුන ඒක මොකක්ද කියල. තවත් සමහර අය ඒක ඒක ඒවා හිතනවා ඇති ඒත් මම ඒවා ගැන කතා කරන්න යන්නේ නෑ. හුහ්.

වෙන මොනවත් නෙමෙයි ඔන්න අපේඅනික් අක්කත් කසාද බැඳලා ගියා. ඔකේ වැඩ තමයි තිබුනෙ. ඒ එක්කම බ්ලොග් ලියන්නවත් කියවන්නවත් මානසිකත්වයක් තිබුනෙ නෑ.පහුගිය දවස් වල කට්ටිය ලියපු එකම ලිපියක්වත් කියවන්න බැරිවුනේ ඒ හින්ද තමයි .සමා වන සේක්වා.....!

දැන් ඉස්සරහට ආයිත් පටන් ගන්න බැරියැ කියල තමයි හිතාගෙන ඉන්නෙ. කැම්පස් පටන් ගත්ත හින්ද ඒවයෙත් වැඩඑකතු වෙයි. ඒ උනත් අද ඉඳන් නම් කට්ටිය ලියන ඒවා අනිවා බලන්නම්. මොනවා මොනවා හරි ලියන්නත් බලන්නම්. ලියනවා කිව්වට ඔහේ වල්පල් ලියන්නත් බැහැනේ . ඒ හින්ද ටිකක් කල් අරගෙන ඒක දෙක ලියන්න තමයි වෙන්නෙ. කොහොම කොහොම හරි බ්ලොග් ඒකෙ උපන් දිනෙත් ලගම එනවා. ඊට කලින් පොස්ටු 100 කොහොම හරි සම්පුර්ණ කරගන්න හිතාගෙන හිටියේ. ඔක්කොම දැන් වතුරේ.

එහෙනම් ජයවේවා කිව්වා ඕං..... 

Monday, October 7, 2013

බන්දුගේ ගොන් ජෝක්


ලංකාවේ දක්ෂ විකට රංගන ශිල්පීන් අතරින් පළවෙනි තැනට මම නම් දකින්නෙ ජෝ අබේවික්‍රම කියන අසහාය නළුවා.ඔහුගේ දක්ෂතාව එසේ මෙසේ එකක් නම් නෙමෙයි.මෝඩ කතා කියල , බොරුවට ගොන් විදියට ඇඟ පත හොලවල නෙමෙයි ඔහු මිනිස්සුන්ව හිනා ගැස්සුවේ. බලපු පින්තුර වල නම් මතක නැති උනත් ඒවායේ තිබුන හාස්‍ය රසය නම් ඉතා ඉහළයි. සමහරවිට ඔහු සිනාවට ලක් කලේ අපේ සමාජයේම තිබුන දුර්වලතා. කොළඹ සන්නිය චිත්තරපටියේ ඒක හොඳටම දැක ගන්න පුළුවන්. 

මේ කතාව ඔහු ගැන නම් නෙමෙයි. වර්තමානයේ ඉන්න විකට නළුවෙක් පිළිබඳව. හැමෝම ඔහු දන්නව ඇති බන්දු කියල කීවම. ඒ කාලෙ ඔහු රඟපාපු චිත්‍රපටි බලල මමත් ඇති වෙනකම් හිනා උනා. පස්සෙ පස්සෙ කාලයක් යනකොට මට හිතුනා මේ මනුස්සය මොනවද මේ කරන්නෙ කියල. හේතුව තමයි මම ඉහත කියපු නළුවා සහ මොහු සංසන්දනය කරලා බැලීම. මේ මොන ගොන් ජෝක් ද කියල මට හිතුන ඊට පස්සෙ. කොහොමින් කොහොමින් හරි මම ටෙනී , බන්දු රඟපාන චිත්‍රපටි බැලිල්ල නතර කළා.

නැවත මේ මෝඩ නළුවා ගැන මතක් උනේ youtube එකේ දැකපු වැඩසටහන් කීපයක් දැකල. ගොඩක් අය බලලත් ඇති . ප්‍රසිද්ධ නාලිකාවක වැඩසටහනකට ඇවිත් කියපු ඒවා ටිකක් මට අහම්බෙන් වගේ බලන්න ලැබුන. "හරි විදියට මුත්‍රා කරන හැටි " , " දන්සල් වැඳීම " වගේ නම් වලින් දාල තිබුන ඒවා ටිකක් බාගෙන බැලුව මමත්. 

මෙච්චර කාලයක් මම මේ මනුස්සය ගැන හිතාගෙන ඉඳල තියෙන්නෙ කොච්චර වැරදියටද කියල මට හිතුනේ ඊට පස්සෙ. ඔහු ඒවාට ඇවිත් කියපු ඒවා ගැන පුදුමත් හිතුනා. වැඩසටහනට සහභාගී වෙලා හිටපු අනික් අය ඔහුගේ කතාවට හිනා උනත් ඔහු කලේ විහිළුවක් නෙමෙයි. කියන දේ කෙලින්ම කියන්න ඔහු බය උනේ නෑ. මුත්‍රා කිරීම කියල තිබුන ඒකෙ ඔහු ඇත්තටම කිව්වේ අපේ සමාජය නොදක්නා , නොහිතන පැත්තක්. ඒවා ගැන ඔහු කතා කලේ කලකිරීමෙන් උනත් වටේ හිටපු අනික් ගොන් රැල ඒක තේරුම් ගත්ත බවක් මට නම් තේරුනේ නෑ. 

ඔහුගේ කතා විලාසය ඇත්තටම අමුතුයි. ඒක ඇහුණාම හිනා යනව තමයි. එත් හිනා වෙන්න ඉස්සර වෙලා කියන්නෙ මොකක්ද කියල අහලම හිනා උනා නම් හොඳයි ඔහුගේ කතා වලට. විකට රංගනය පමණක් නෙමෙයි. බෙර ගහන්න , තබ්ලා ගහන්න , සින්දු කියන්න මේ ඕන එකක් කරන්න බන්දු ට පුළුවන්. ඔහුගේ චිත්තරපටි වලින් උපහාසයට ලක් කරන්නෙ අපේ සමාජයෙ අපි දකින සහ නොදකින අපේම දුර්වලතා. ඒවා බලල හිනා වෙනවනම් ඒ හිනා වෙන්නෙ අපිටමයි කියන එක ඔහු පහදලා දෙනවා. 

මේ වගේ දක්ෂයෙක්ට අපේ රටේ නියම ඇගයීමක් සිදු වෙලා නෑ කියන ඒක තමයි මගේ හැඟීම නම්. කට්ටිය ඔහුගේ නිර්මාණ බලනවානම් අවබෝධයෙන් බලන්න. ඇත්තටම එකෙන් ඔහු සමාජෙට කියන්න හදන්නෙ මොකක්ද කියලත් බලන්න.  

Monday, September 9, 2013

මසුරන් උල්පත - කසිප්පු



2013 ජුලි 21 ඉරිදා මවුබිම පත්තරේ තියන ලිපියක් ඇසුරෙන් තමයි මේක ලියන්න හිතුනේ. අනු එදිරිසිංහ තමයි ලිපිය ලියල තිබුනෙ. මේක කියෙව්වම මට මේක අත්හදා බලන්නම හිතුනා. කෝකටත් තව ඩිංගක් හිතල බලන්නත් ඕන.මාතෘකාවදැක්කම කට්ටිය හිතනවා ඇති ඇත්ත තමයි කියල. මොකද මේ කාලේ දේශීය දේවල් හරියට අගය කරනවනේ.රටින් ගේන ඒවාට වඩා , ලංකාවේ ඒක ඒක ජාතියේ ලි වලින් කරපු බැරල් වල දාල හදන ඒවාට වඩා මේවා සැර බව දන්නෝ දනිති ඉතින්. (මම නම් ඕව දන්නේ නෑ ඕං ) . ගණනුත් අඩුයිනේ. ඉතින් ඒකෙ වැරැද්ද මොකක්ද. නෙහ්....?

මදැයි ඒ ගැන කතාව.නැත්තම් තව ටිකක් වෙලා යනකොට පොලිසියෙන් ඇවිත් මාව අරගෙන යයි කසිප්පු පෙරුවා කියල.  දේශීය වෛද්‍ය වොෂින්ටන් නානායක්කාර මහත්තයා ගේ අදහසට අනුව නම් කසිප්පු කියන්නෙ ඉතාමත් හොඳ , උසස් තත්වයේ ඉන්ධනයක් . මේ ඉන්ධන වල එක එක පරම්පරා තියනවා. ඒවායින් පළමුවන පරම්පරාවේ ඉන්ධනයක් තමයි කසිප්පු කියන්නෙ. කසිප්පු කීවට අපේ කස්ටිය බීල වැනි වැනි යන ඒවම නෙමෙයි . ඊට වඩා ටිකක් පිරිපහදු කරපු එක. කසිප්පු නිෂ්පාදනය කරන්නෙ සීනි හෝ පලතුරු යුෂ වලට යීස්ට් කලවම් කරලා. මේ ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය වෙන්නෙ ඇල්කොහොල් සහ කාබන් ඩයොක්සයිඩ්. මේ ඇල්කොහොල් වතුරත් එක්ක දියවෙලා තියෙන්නෙ. මේක පෙරලා ගන්න ඒක තමයි කසිප්පු කියන්නෙ. මේකේ වැඩියෙන්ම අඩංගු වෙන්නෙ එතිල් ඇල්කොහොල් , එහෙමත් නැත්නම් එතනෝල්. මේ තියෙන්නෙ ඒක තමයි.


රසායන විද්‍යාව කරන අය නම් මේක දැක්ක ගමන් අඳුනගනී . කොහොමහරි කසිප්පු වල තියන වතුර ටික අයින් කරගන්න පුළුවන් නම් වැඩේ ගොඩ. (කොහොමත් කසිප්පු වල සාමාන්‍යයෙන් 55 % - 56 % විතර එතනෝල් තියනවා මට මතක හැටියට.වැරද්දක් තියනවනම් නිවැරදි කරන්ඩෝ..) ඔය ගමේ ගොඩේ හිටි ගමන් පොලිසියෙන් පැනලා අල්ලන කසිප්පු ටික ඉන්ධනයක් කියල අපේ අයියල දන්නව නම් ....වැඩක් නෑ ඒත් බොයි ගුඩු ගුඩු ගාල .

එතනෝල් කියන මේ ඉන්ධනය පෙට්‍රෝලියම් එක්ක කලවම් කරලත් පාවිච්චි කරන්න පුළුවන්. දැනටත් ලෝකේ සමහර රටවල් වල මේක පාවිච්චි කරනවා ඉන්ධනයක් විදියට.ඉස්සරම වාහන හදල තියෙන්නෙ එළවලු තෙල් වලින් දුවන්න. (වෙලාවට දැන් එහෙම නැත්තේ. නැත්තම් කාන්තාවන්ගෙන් තමයි පලවෙනි විරෝධය එල්ල වෙන්නෙ ) .ඒ කාලේ හෙන්රි ෆෝඩ් හදපු වාහනෙත් ඇල්කොහොල් වලින් තමයි දුවල තියෙන්නෙ. මරු නේද ? දැනට තියන කාර් වලට සහ ඕන වාහනේකට මේවා පාවිච්චි කරන්න පුළුවන්. 
(වැඩි විස්තර මෙතනින් බලන්න. )

දැනට ලෝකේ භාවිත කරන්නෙ පොසිල ඉන්ධන.ඒ කියන්නෙ අවරුදු මිලියන ගානක් තිස්සේ සත්ව ශේෂයන් සහ තවත් ශාක යනාදිය අධික පීඩනයක් සහ යම් උෂ්ණත්ව යටතේ තමයි හැදිල තියෙන්නෙ. දැනට අපි පාවිච්චි කරන්නෙ මෙහෙම සැහෙන කාලයක් තිස්සේ හැදුනු ඒවා. යන විදියට මේ ඉන්ධන අවරුදු පනහක් වත් පවතින එකක් නෑ . ඊට පස්සෙ කොහොමත් ඒවාට විකල්ප හොයන්න වෙනවා. අනික පොසිල ඉන්ධන වලින් සිද්ධ වෙන පාරිසරික හානිය ඉතාමත් ඉහලයි. පෙට්‍රෝලියම් භාවිත කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් ස්වභාවධර්මය කොච්ච්චාර නම් විනාස වෙලා ඇද්ද

අපිට පුළුවන් නම් මේ කසිප්පු මත්ද්‍රව්‍යයක් විදියට භාවිත කරන්නෙ නැතුව මේ විදියට පාවිච්චි කරන්න , කොච්චර නම් දියුණුවක් ලබාගන්න පුලුවන්ද. මේ විදියට ඉන්ධන හදන්න ඉවතලන බත් පවා ප්‍රයෝජනයට ගන්න පුළුවන් . ඉවතලන පළතුරු , සිනි හදල ඉතුරු වෙන උක්ගස් වල රොඩ්ඩ මේ හැම එකකින්ම අපිට එතනෝල් හදන්න පුළුවන්. මේ හදන ඒවා පිරවුම් මධ්‍යස්ථාන වලට යවන්නත් පුළුවන්. කොච්චර උනත් මේක බඩේ ඉන්න පණුවන්ට ඉන්ධනයක් විදියට දෙන අයත් ඉන්න හින්ද එහෙම කරන්න බැරිවෙන්න මොනවා හරි කලවම් කරන්න වෙනවාමයි. නැත්තම් අපේ අයියලාගෙන් බේරගන්න විදියක් නැතිවෙයි
. පිටරටට ඇදිල යන මහා ධනස්කන්ධයක් මේකෙන් ඉතුරු කරගන්න පුළුවන් .අනික පරිසරයටත් හිතකරයි. වාහනයටත් හිතකරයි. 

ඔන්න ඔහොමයි දරුවනේ කසිප්පු මසුරන් හා සමාන වෙන්නේ...