Sunday, January 20, 2013

දෙමාපියන්ගේ සපත්තු දරුවන්ට දැමීම.



මම කියන්න හදන්නේ මොකක්ද කියල කට්ටිය දැන් කල්පනා කරනවා ඇති. අම්මල තාත්තලාගේ සපත්තු කොහොමද ළමයි දාන්නේ? ඒවා ලොකු වැඩියි නෙ?? එහෙම කරන්න පුලුවන්ද? අම්ම හරි තාත්ත හරි ළමෙක්ට එහෙම කියනවනම් හරිද? කල්පනා කරනකොට මේක ඇත්තටම ප්‍රශ්නයක් කියල හිතෙනවා. 

දරුවෙක් ඉපදුන වෙලාවේ ඉඳන් අම්මල තාත්තල කොච්චර නම් සතුටු වෙනවද? ඒ දරුවා වෙනුවෙන් තමන්ගෙ නිදහස, මුදල් , කාලය , සමහර වෙලාවට ජිවිතේ උනත් දෙන්න දෙමාපියන් සුදානම්. ඒ දරුව හිනා වෙනකොට කොච්චර නම් සතුටක් දැනෙනව ඇතිද? අපිට ඒ අත්දැකීම නැතිවෙන්න පුළුවන්. ඒ උනත් හිතල බලන්න පොඩි දරුවෙක් හිනා වෙනව දැක්කම අපිට උනත් කොච්චර නම් සතුටක් ඇති වෙනවද? එහෙනම් දෙමාපියන්ට දැනෙන සතුට ගැන කියන්න දෙයක් නෑනෙ? ඊට වඩා වෙන සතුටක් දෙමාපියන්ට නැතිව ඇති.

කාලයක් යනකොට මේ දරුව ටක ටික දනගාන්න පුරුදු වෙනවා. ඒ කාලෙට කොයි වෙලාවේ බැලුවත් පොඩි එකා හදන්නේ මොකක් හරි දෙයක් අල්ලාගෙන නැගිටින්න. තමන්ගෙ ලෙයින් මසින් ඉපදුන දරුව මෙහෙම හපන් වෙනකොට සතුටු නැද්ද. ඔහොම ගොහින් ගොහින් දරුව පෙර පාසල් යන්න පටන් ගන්නවා. මේ වෙනකනුත් දරුව දන්නේ නෑ තමන් මොකක්ද කරන්නේ කියල. 

ඔහොම ගිහින් මේ ළමය සාමාන්‍ය පෙළත් කරලා ඉවර වෙනවා. කොච්චර කොහොම උනත් තවම මේ ළමය හිතන්නේ නෑ ඇයි මේ හැමදාම ඉස්කෝලේ යන්නේ කියල. පොඩි හැඟීමක් තියනවා අනාගතේ වෙන්නේ කව්ද කියල. ඇහුවම කියනවා මම වෙන්නේ දොස්තර කෙනෙක්, මම වෙන්නේ ඉංජිනේරුවෙක් , මම වෙන්නේ පයිලට් කෙනෙක් කියල. එත් එතනට යන්නේ කොහොමද කියන එක දරුවට කිසිම තැනකින් හරියට පහදලා දෙන්නේ නෑ. 

මෙන්න මෙතනින් පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ . ළමය හරිම කැමතියි සංගීතේ කරන්න. සෞන්දර්ය විෂයන් වලට. එත් ගෙදරින් මොකද කියන්නේ?

" ඕව කරල ඉස්සරහට ජොබ් නෑ. ඒ හින්ද බයෝ කරන්න. "

" අපි කැමති ඔයා ඉංජිනේරුවෙක් වෙනවට. අපි කැමති නෑ කලාව කරනවට. අනික අපි දෙන්නම මෙච්චර ලොකු රස්සාවල් කරන්නේ. අනික් අයට කොහොමද කියන්නේ අපේ ළමය කලාව කරනවා කියල. "

" අපිට ඉගෙන ගන්න බැරිවුනා. ඔයා අපිට වඩා උඩ තැනකට යන්න ඕන. ඒ හින්ද ඔයා maths කරන්න. "

" බලන්න පුතේ,දැන් තාත්ත බිස්නස් කරාව. ඔයා තමයි ඕව ඔක්කොම අනාගතේදී බාර ගන්න ඉන්නෙ. ඒ හින්ද වාණිජ කරන්න. "

බලන්න මේ දරුව කොච්චර නම් අමාරුවකද වැටෙන්නේ කියල? නිකමට හිතල බලන්න . සමහර අයට මේ අත්දැකීම ඇති. තමන් කැමති දේ දිහා බලාගෙන අකමැති දෙයක් කරන්න යනකොට, තමන්ට දක්ෂතාවක් නැති දෙයකට බලෙන්ම ඇදලා දානකොට කොච්චර මානසිකව වැටෙනවද? උපන් දවසේ ඉඳන් හැමදේම කැප කරලා ආදරෙන් හදපු ළමයව එක පාරටම වලට ඇදල දානවා.

ඒකත් අවුලක් නැතුව තමන් දක්ෂ දේ කැමති දේ කරගත්ත කියමුකෝ. ඔන්න විශ්ව විද්‍යාලෙටත් යනවා හොදට සමත් වෙලා. දැන් මේ දරුවාගේ කල වයසත් හරි. ඊට පස්සේ ඔන්න ගෙදරින් හොයන්න පටන් ගන්නවා ගැලපෙන කෙනෙක්. ඒත් මේ දරුව කැමති කෙනෙක් ඉන්නවා. තමන්ගෙ අධ්‍යාපන මට්ටමට තවම ඇවිත් නෑ. ඒත් කවද හරි උසස් තැනකට එන්න පුළුවන්. දෙන්නට දෙන්න ආදරෙයි. එත් ගෙවල් වලින් කැමති නෑ. හේතුව? දෙන්නගේ රැකියා මට්ටම් වල වෙනස. මේ වෙලාවේ කව්ද අසරණ වෙන්නේ? තමන් අකමැති කෙනෙක් එක්ක ගිහින් මුළු ජීවිතේම අපායක් කරගන්නවද එහෙම නැත්නම් තමන්ගෙ ජිවිතේ හරි පැත්තට යාගන්න දෙනවද? දෙමාපියන්ගේ සතුට වෙනුවෙන් දරුවාව අපායකට දානවද? එහෙමත් නැත්නම් තමන්ගෙ මහන්තත්වය සහ සාම්ප්‍රදායික හණමිටි අදහස් වලින් වෙන් වෙලා තමන්ගෙ දරුවාගේ තීරණ දිහා පොඩ්ඩක් කල්පනාවෙන් බලනවද?

දෙමාපියන්ගෙ සපත්තු දරුවන්ට හරියටම ගැලපෙනවද ??

( මගේ මිතුරියකට සිදුවුණ දෙයක් නිසා මෙහෙම ලියන්න හිතුනා. ඒ අතින් මම කොච්චර වාසනාවන්තද කියලත් හිතුනා. )


33 comments:

  1. ඒ අතින් බලද්දී අපි වාසනාවන්තයි.අපේ දෙමවුපියෝ අපිට අනිසි බලපෑම් කලේ නෑ

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි. ඒත් අසරණ වෙන ය කොච්චර නම් මේ රටේ ඉන්නවා ඇද්ද.

      Delete
  2. ඉඳල හිටලා ඇවිල්ල ඇපල් ගෙඩියක් කාලා ගියාට ඕන් අද තමයි කොමෙන්ටුවක් දැම්මේ.... :D

    ReplyDelete
  3. වෙච්ච දේවල් වෙලා ඉවරයි බං... අනාගතේ මේක හදන්න පුළුවන් හොදම සෙට් ඒක අපි...

    ReplyDelete
    Replies
    1. වෙලා ඉවර නෑ.තවමත් වෙනවා. ඒක තමයි දුක හිතෙන කතාව. අපිත් ඒ කාලේ වෙනකොට මෙහෙමම හිතයිද කියන එක තමයි ප්‍රශ්නේ.

      Delete
  4. අපිටත් හොද වෙලාවට කිසි බලපෑමක් ආවේ නෑ.. ඒ ගැන ඇත්තටම සතුටු වෙනවා..

    ReplyDelete
    Replies
    1. සතුටු වෙන්න පුළුවන් එක ගැන නම් සතුටුයි. වාසනාවන්ත දෙමව්පියන්. :)

      Delete
  5. තමන්ගෙ මහන්තත්වය සහ සාම්ප්‍රදායික හණමිටි අදහස් වලින් වෙන් වෙලා තමන්ගෙ දරුවාගේ තීරණ දිහා කල්පනාවෙන් බලන්න ඕන කාලය ඇවිත් කියලා මටත් හිතෙනවා .දෙමව්පියන්ගේ පැත්තෙන් ඔය ගැන ටිකක් දුරට කතිකාවතක් ගොඩ නගා ගත්තොත් ඔවුන්ගේ ජීවිත ඇතුලේ ළමයෙකුට එහෙම බලපෑමක් කරන්න සාදාරන හේතු තියෙන්න පුළුවන් ,නමුත් එහෙමයි කියලා දරුවෙක්ගේ ජීවිතයක් අඳුරු කරන එක නම් වැරදියි .අදාළ කෙනා ගැන හොයා බලලා තීරණයක් ගන්න ඔවුන්ට යුතුකමක් තියනවා .තමන්ගේ දරුවා වෙනුවෙන් !

    ReplyDelete
    Replies
    1. තමන්ගේ දරුවා එච්චර කල් බොහොම හොඳට බලාගෙන තමන්ගේ හිනා දරුවන් මතින් ඉටු කරගන්න හදන එක ඇත්තටම වැරදියි.

      Delete
  6. මමත් මොනතරම් වාසනාවන්තද කියලා හිතෙන්නෙ ඔහොම වෙලාවට. :) අපේ අම්මලාත් කවදාවත් එහෙම බලපෑම් කලේ නෑ... ඒත් මම දන්න යාලුවොත් හිටිය ඔය වගේ අම්මලාගෙ අරමුණු වෙනුවෙන් ජීවිතේ පරදුවට තිබ්බ.

    ReplyDelete
    Replies
    1. එක අතකට ඒ දෙමාපියන්ගේ මට්ටම ගැන දුකත් හිතෙනවා. :(

      Delete
  7. බොහෝ දෙමව්පියන් තමන්ට අතපහු වෙච්ච දේවල් තමන්ගේ ළමයින් ලවා කරවන්න උත්ස්සාහ ගන්නවා මම දැකල තියෙනවා. මගේ ළමයා නම් ඒ කිසිම දෙකට කැමැත්තක් නෑ. මම හිටපු ගමන් අහල බලනවා අරව කරනවද?, මේවා කරනවද? කියලා ඒත් කෙලින්ම බෑ කියනවා. ඉතා හොඳ පොස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුතියි.... :)

      Delete
  8. ඇත්තටම මම වාසනාවන්තයි එහෙනම්....මට ඕනෙ දේ මම ආස දේ මගෙ අම්මයි අප්පච්චියි කරන්න ඉඩදීපු නිසා......^_^

    ReplyDelete
    Replies
    1. එහෙම දෙමාපියන් ලබන්න පින් කරන්න ඕන. ;)

      Delete
  9. ඒ අතින් අපි ගොඩක් වාසනාවන්තයි.. ගෙදරින් කවදාවත් බලකලේ නැහැ මේ කෙනාම වෙන්න ඕනයි කියලා. හැකියාවන් අනුව යන මාර්ගය පෙන්නුවා. අදටත්.. ඒත් මගෙ යාළුවන් කීපදෙනෙක් ඉන්නවා අද දෙමාපියන්ගෙ කීමට විවාහවෙලා, ඒ හීන හැබෑකරන්න ගිහින් ජීවිතේ වැරදුන.. දෙමාපිය දරුවන් සම්බන්දතාවක වර්තමාණ සමාජයේ කතාකල යුතු පැතිකඩක්..! :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. එත් ඒ ගැන කතා කරන්න අපි පටන් ගත්තොත් එක මහා ලොකු වැරද්දක් විදියට දකින ය තමයි වැඩිපුරම සමාජේ ඉන්නේ. [-(

      Delete
  10. ඔව් සමහර දෙමව්පියන් දරුවන්ට බලපෑම් කරනවා.එයාල හිතන්නේ එයාල තමයි හරි කියල. ළමයට හොදක් කරන්නේ කියල හිතා ගෙන අන්තිමට බලද්දී එකෙන් වෙලා තියෙන්නේ දරුවා අසරණ වෙන එක. හරි පව් ඉතිං. මොනා කරන්නද හැමෝම එක වගේ හිතන්නේ නෑනේ. එහෙම වුනානම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙයිද.....
    ඒ අතින් අපි හරි වාසනාවන්තයි. කවදාවත් මොකකටවත් බලපෑම් කරලා නෑ....

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවේ ඇත්තටම හිතන්නේ ළමය ගැනද නැත්නම් තමන්ගෙ තත්වය ගැනද කියන එක ප්‍රශ්නයක්. :-B

      Delete
  11. හ්ම්ම්..මටත් කවමදාවත් කාගෙන්වත් අනිසි බලපෑමක් ඇවිත් නෑ. එහෙම උනානම් තත්වේ මිට වඩා ගොඩක් වෙනස් වේවි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒක අහන්නත් සතුටුයි. :)

      Delete
  12. වැඩිහිටියන් බොහොමයක් අතර තිබෙන මෝඩ සිතුවිල්ලක් තමයි 'ළමයා කියන්නේ පුංචි මිනිහෙක්' කියලා හිතන එක. ළමයා ළමයෙක් හැටියට දකින්නේ පළමුවැනි වසර සඳහා පාසලට ඇතුළු කරනතුරු පමණයි. අනේ ඊට පස්සේ මෝඩ දෙමවුපියෝ ඒ ලමයව මරලා ඒ ශරීරය හා මනස තුලින් පුංචි මිනිහෙක් හදන්න යනවා. ඉතින් අර ළමයා මැරිලා යකෙක්, මළමිනියක්, අරමුණක් නැති, සමාජයට වෛර කරන අපිස් ජීවිතයක් හැදෙනවා. ඒ වගේ අපිස් ජීවිත ගොදුරු කරගන්න කුඩු, ජරා ගීත, ජරා ටෙලිනාට්‍ය, බලා ඉන්නවා. අන්තිමට අම්මලා තාත්තලා උන්ගේ අම්මලාට ...නෙනවා. දරුවෝ අයාලේ යනවා. සමාජ විරෝධී ජීවිත ඉස්මතු වෙනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මට කියන්න ඕන කරලා තිබුන දෙයක් හරියටම කියල තියෙනවා. වචන හරියට ගලපගන්න බැරුව හිටියේ. මට හිතෙන විදියට සමාජේ තිබෙන ගොඩක් අවමන් සහගත චරිත මතුවෙලා තියෙන්නේ ගොඩක්ම දෙමාපියන්ගේ වැරදි නිසා. එහෙම නොවන අවස්ථාත් තියෙනවා.

      Delete
  13. බහුතරයක් දෙමාපියො උත්සාහ කරන්නෙ තමන්ගෙ දරුවා වෛද්‍යවරයෙකු නැතිනම් ඉංජිනේරුවෙකු කරන්න...අන්න ඒ නිසා තමයි අපේ සමාජයේ මේ තරම් රැකියා අතර ආදායම් බේදයක් තියෙන්නෙ.

    දියුණු රටවල දරුවා දක්ෂතා පෙන්වන ක්ෂේත්‍ර‍යක් තුලින් ඉදිරියට යන නිසාමදෝ ඔය කියන කාරණය ඒ රටවලට අදාල නෑ...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. මම අඳුනන මල්ලි කෙනෙක් ඉන්නවා ඇමෙරිකා වල. එයා දැන් උපාධි 2ක් කරලා රස්සාවකුත් කරනවා. එත් අපේ රටේ බහුතරය අවුරුදු 25ක් වෙනකොටත් යැපෙන්නේ දෙමාපියන්ගෙන්.

      Delete
    2. මේකට ප්‍රධාන හේතුව අපේ පාලන ක්‍රමයේ තියෙන දුර්වලතා.

      Delete
  14. //දෙමාපියන්ගේ සතුට වෙනුවෙන් දරුවාව අපායකට දානවද? එහෙමත් නැත්නම් තමන්ගෙ මහන්තත්වය සහ සාම්ප්‍රදායික හණමිටි අදහස් වලින් වෙන් වෙලා තමන්ගෙ දරුවාගේ තීරණ දිහා පොඩ්ඩක් කල්පනාවෙන් බලනවද?//

    මෙතැනදී හොඳින් කල්පනා කරලා බලන්න ඕනේ එය අනිසි බලපෑමක්ද එහෙම නැත්නම් අවවාද දීමක්ද කියන එක.

    අදමයි මම නම් ඇපල් ගන්න ගොඩ උනේ. ඔබේ අදහසට ටිකක් විරුද්ධ කොමෙන්ටුවක් ඉස්සෙල්ලම දැම්මට අමනාප වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. කල්පනාවෙන් බලල අවවාද දීම තමයි සුදුසුම දේ. ඒත් ගොඩක් වෙලාවට වෙන්නේ බල කරන එක.ඒක තමයි නරකම දේ.

      සාදරයෙන් පිලිගන්නවා... :)

      Delete
  15. අදමයි අවේ ඇපල් කාල බලන්න... හොඳයි රහයි..
    ප්‍රයෝගික කතාවක් මේක.. එල එල

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා...සාදරයෙන් පිලිගන්නවා... :)

      Delete
  16. මචං ඕකේ දෙපැත්තක් තියෙනවා !
    පැහැදිලිවම දෙමව්පියෝ ළමයිට වඩා අත්දැකීම් තියෙන අය .කවදාවක් කිසිම අම්මාකෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ ළමයට අහිතක් කරන්නේ නෑ.
    මේකේ මට පේන විදියට උඹ බලල තියෙන්නේ එක සයිඩ් එකක් විතරයි ඒ අර ගැනු ළමයාගේ පැත්තෙන් !
    නිකමට හිතලා බලපන් උඹ ඉස්සර ආස කළ එකටමද දැන් උඹ ආස කරන්නේ කියල ! ඒ කාලේදී හැදුනු උණක් නිසා මොකකටහරි කැමතිවෙනවා අපි හිතමු තබ්ලා ගහන්න කියලා.
    හැබැයි ඒ තාවකාලීන ආසාවක් ටික දවසකින් උඹට එක එපා වෙනවා. අන්තිමට උඹ තව දේකට යනවා.
    12 11 වසර කියන්නේ මහලොකු දැනුම් තේරුම් තියෙන කාලයක්මද ?
    උඹ අද හිතන විදියයි එදා හිතපු විදියයි එකමද ! අනික බඳින්න ඉන්න කෙනා ගැන ළමයා ගන්න තීරණේ සෑමවිටම නිවැරදිද !
    ඕකේ හැමවිටම නිවැරදි දෙපැත්තක් තියෙයි. එක පැත්තක් විතරක් කතා කරලා මදි !
    කාලීන මාතෘකාවක්. නියමයි !

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මචන් මම කිව්වේ දෙමාපියන් කල්පනාවෙන් බලන එක තමයි සුදුසුම දේ කියල. නියමාකාරයෙන් අවවාද දීල මාර්ගය පෙන්නන එක වෙනමම දෙයක්. නමුත් බලෙන් , දරුවාගේ අකමැත්තෙන්, කිසි පැහැදිලි කිරීමක් නැතුව අම්ම තාත්ත උනත් යම් දෙයක් කරනවානම් එක සුදුසු නැහැ නේද? ඒ ගැනයි මම කියන්නේ.

      සාදරයෙන් පිලිගන්නවා මිත්‍රයා....! ;)

      Delete