Monday, October 7, 2013

බන්දුගේ ගොන් ජෝක්


ලංකාවේ දක්ෂ විකට රංගන ශිල්පීන් අතරින් පළවෙනි තැනට මම නම් දකින්නෙ ජෝ අබේවික්‍රම කියන අසහාය නළුවා.ඔහුගේ දක්ෂතාව එසේ මෙසේ එකක් නම් නෙමෙයි.මෝඩ කතා කියල , බොරුවට ගොන් විදියට ඇඟ පත හොලවල නෙමෙයි ඔහු මිනිස්සුන්ව හිනා ගැස්සුවේ. බලපු පින්තුර වල නම් මතක නැති උනත් ඒවායේ තිබුන හාස්‍ය රසය නම් ඉතා ඉහළයි. සමහරවිට ඔහු සිනාවට ලක් කලේ අපේ සමාජයේම තිබුන දුර්වලතා. කොළඹ සන්නිය චිත්තරපටියේ ඒක හොඳටම දැක ගන්න පුළුවන්. 

මේ කතාව ඔහු ගැන නම් නෙමෙයි. වර්තමානයේ ඉන්න විකට නළුවෙක් පිළිබඳව. හැමෝම ඔහු දන්නව ඇති බන්දු කියල කීවම. ඒ කාලෙ ඔහු රඟපාපු චිත්‍රපටි බලල මමත් ඇති වෙනකම් හිනා උනා. පස්සෙ පස්සෙ කාලයක් යනකොට මට හිතුනා මේ මනුස්සය මොනවද මේ කරන්නෙ කියල. හේතුව තමයි මම ඉහත කියපු නළුවා සහ මොහු සංසන්දනය කරලා බැලීම. මේ මොන ගොන් ජෝක් ද කියල මට හිතුන ඊට පස්සෙ. කොහොමින් කොහොමින් හරි මම ටෙනී , බන්දු රඟපාන චිත්‍රපටි බැලිල්ල නතර කළා.

නැවත මේ මෝඩ නළුවා ගැන මතක් උනේ youtube එකේ දැකපු වැඩසටහන් කීපයක් දැකල. ගොඩක් අය බලලත් ඇති . ප්‍රසිද්ධ නාලිකාවක වැඩසටහනකට ඇවිත් කියපු ඒවා ටිකක් මට අහම්බෙන් වගේ බලන්න ලැබුන. "හරි විදියට මුත්‍රා කරන හැටි " , " දන්සල් වැඳීම " වගේ නම් වලින් දාල තිබුන ඒවා ටිකක් බාගෙන බැලුව මමත්. 

මෙච්චර කාලයක් මම මේ මනුස්සය ගැන හිතාගෙන ඉඳල තියෙන්නෙ කොච්චර වැරදියටද කියල මට හිතුනේ ඊට පස්සෙ. ඔහු ඒවාට ඇවිත් කියපු ඒවා ගැන පුදුමත් හිතුනා. වැඩසටහනට සහභාගී වෙලා හිටපු අනික් අය ඔහුගේ කතාවට හිනා උනත් ඔහු කලේ විහිළුවක් නෙමෙයි. කියන දේ කෙලින්ම කියන්න ඔහු බය උනේ නෑ. මුත්‍රා කිරීම කියල තිබුන ඒකෙ ඔහු ඇත්තටම කිව්වේ අපේ සමාජය නොදක්නා , නොහිතන පැත්තක්. ඒවා ගැන ඔහු කතා කලේ කලකිරීමෙන් උනත් වටේ හිටපු අනික් ගොන් රැල ඒක තේරුම් ගත්ත බවක් මට නම් තේරුනේ නෑ. 

ඔහුගේ කතා විලාසය ඇත්තටම අමුතුයි. ඒක ඇහුණාම හිනා යනව තමයි. එත් හිනා වෙන්න ඉස්සර වෙලා කියන්නෙ මොකක්ද කියල අහලම හිනා උනා නම් හොඳයි ඔහුගේ කතා වලට. විකට රංගනය පමණක් නෙමෙයි. බෙර ගහන්න , තබ්ලා ගහන්න , සින්දු කියන්න මේ ඕන එකක් කරන්න බන්දු ට පුළුවන්. ඔහුගේ චිත්තරපටි වලින් උපහාසයට ලක් කරන්නෙ අපේ සමාජයෙ අපි දකින සහ නොදකින අපේම දුර්වලතා. ඒවා බලල හිනා වෙනවනම් ඒ හිනා වෙන්නෙ අපිටමයි කියන එක ඔහු පහදලා දෙනවා. 

මේ වගේ දක්ෂයෙක්ට අපේ රටේ නියම ඇගයීමක් සිදු වෙලා නෑ කියන ඒක තමයි මගේ හැඟීම නම්. කට්ටිය ඔහුගේ නිර්මාණ බලනවානම් අවබෝධයෙන් බලන්න. ඇත්තටම එකෙන් ඔහු සමාජෙට කියන්න හදන්නෙ මොකක්ද කියලත් බලන්න.