Monday, October 7, 2013

බන්දුගේ ගොන් ජෝක්


ලංකාවේ දක්ෂ විකට රංගන ශිල්පීන් අතරින් පළවෙනි තැනට මම නම් දකින්නෙ ජෝ අබේවික්‍රම කියන අසහාය නළුවා.ඔහුගේ දක්ෂතාව එසේ මෙසේ එකක් නම් නෙමෙයි.මෝඩ කතා කියල , බොරුවට ගොන් විදියට ඇඟ පත හොලවල නෙමෙයි ඔහු මිනිස්සුන්ව හිනා ගැස්සුවේ. බලපු පින්තුර වල නම් මතක නැති උනත් ඒවායේ තිබුන හාස්‍ය රසය නම් ඉතා ඉහළයි. සමහරවිට ඔහු සිනාවට ලක් කලේ අපේ සමාජයේම තිබුන දුර්වලතා. කොළඹ සන්නිය චිත්තරපටියේ ඒක හොඳටම දැක ගන්න පුළුවන්. 

මේ කතාව ඔහු ගැන නම් නෙමෙයි. වර්තමානයේ ඉන්න විකට නළුවෙක් පිළිබඳව. හැමෝම ඔහු දන්නව ඇති බන්දු කියල කීවම. ඒ කාලෙ ඔහු රඟපාපු චිත්‍රපටි බලල මමත් ඇති වෙනකම් හිනා උනා. පස්සෙ පස්සෙ කාලයක් යනකොට මට හිතුනා මේ මනුස්සය මොනවද මේ කරන්නෙ කියල. හේතුව තමයි මම ඉහත කියපු නළුවා සහ මොහු සංසන්දනය කරලා බැලීම. මේ මොන ගොන් ජෝක් ද කියල මට හිතුන ඊට පස්සෙ. කොහොමින් කොහොමින් හරි මම ටෙනී , බන්දු රඟපාන චිත්‍රපටි බැලිල්ල නතර කළා.

නැවත මේ මෝඩ නළුවා ගැන මතක් උනේ youtube එකේ දැකපු වැඩසටහන් කීපයක් දැකල. ගොඩක් අය බලලත් ඇති . ප්‍රසිද්ධ නාලිකාවක වැඩසටහනකට ඇවිත් කියපු ඒවා ටිකක් මට අහම්බෙන් වගේ බලන්න ලැබුන. "හරි විදියට මුත්‍රා කරන හැටි " , " දන්සල් වැඳීම " වගේ නම් වලින් දාල තිබුන ඒවා ටිකක් බාගෙන බැලුව මමත්. 

මෙච්චර කාලයක් මම මේ මනුස්සය ගැන හිතාගෙන ඉඳල තියෙන්නෙ කොච්චර වැරදියටද කියල මට හිතුනේ ඊට පස්සෙ. ඔහු ඒවාට ඇවිත් කියපු ඒවා ගැන පුදුමත් හිතුනා. වැඩසටහනට සහභාගී වෙලා හිටපු අනික් අය ඔහුගේ කතාවට හිනා උනත් ඔහු කලේ විහිළුවක් නෙමෙයි. කියන දේ කෙලින්ම කියන්න ඔහු බය උනේ නෑ. මුත්‍රා කිරීම කියල තිබුන ඒකෙ ඔහු ඇත්තටම කිව්වේ අපේ සමාජය නොදක්නා , නොහිතන පැත්තක්. ඒවා ගැන ඔහු කතා කලේ කලකිරීමෙන් උනත් වටේ හිටපු අනික් ගොන් රැල ඒක තේරුම් ගත්ත බවක් මට නම් තේරුනේ නෑ. 

ඔහුගේ කතා විලාසය ඇත්තටම අමුතුයි. ඒක ඇහුණාම හිනා යනව තමයි. එත් හිනා වෙන්න ඉස්සර වෙලා කියන්නෙ මොකක්ද කියල අහලම හිනා උනා නම් හොඳයි ඔහුගේ කතා වලට. විකට රංගනය පමණක් නෙමෙයි. බෙර ගහන්න , තබ්ලා ගහන්න , සින්දු කියන්න මේ ඕන එකක් කරන්න බන්දු ට පුළුවන්. ඔහුගේ චිත්තරපටි වලින් උපහාසයට ලක් කරන්නෙ අපේ සමාජයෙ අපි දකින සහ නොදකින අපේම දුර්වලතා. ඒවා බලල හිනා වෙනවනම් ඒ හිනා වෙන්නෙ අපිටමයි කියන එක ඔහු පහදලා දෙනවා. 

මේ වගේ දක්ෂයෙක්ට අපේ රටේ නියම ඇගයීමක් සිදු වෙලා නෑ කියන ඒක තමයි මගේ හැඟීම නම්. කට්ටිය ඔහුගේ නිර්මාණ බලනවානම් අවබෝධයෙන් බලන්න. ඇත්තටම එකෙන් ඔහු සමාජෙට කියන්න හදන්නෙ මොකක්ද කියලත් බලන්න.  

18 comments:

  1. මම දැක්ක දක්ෂතම විකට රංගන ශිල්පියා තමයා ඩී.ආර් නානායක්කාර අද පරපුර අහලවත් නැතුව ඇති...අන්න නලුවො....අද වගේ දෙපැත්ත කැපෙන කුණු කථා කියලා නෙමෙයි ඒ අය මිනිස්සු හිනා ගැස්සුවෙ....

    ReplyDelete
    Replies
    1. නම කිව්වම මතක් උනේ. පැහැදිලිවම දක්ෂයෙක්. කතාව ඇත්ත.

      Delete
  2. හාස්‍ය රංගනය අතිශයින් අමාරු රංගන කාර්යයක් බව ලෝකයේ සුප්‍රසිද්ධ රංගධරයන් විසින් නිතර පවසන සත්‍යයක්. අපේ සිනමා/ටෙලිනාට්‍ය ඉතිහාසය දෙස බලනවිට හාස්‍යය ඉපදවීමේ කුසලතාව ඇති නළුවන් සිටින්නේ කීපදෙනෙකු පමණයි. ජෝ අබේවික්‍රම මහතා වැලිකතර චිත්‍රපටියෙන් චරිතාංග නළු භූමිකාවට ප්‍රවිෂ්ට වීමට පෙර රඟපෑවේ විකට නළුවකු ලෙසයි. එහෙත් එම භූමිකා දෙකෙහිදීම ඔහු දැක්වූ ප්‍රතිභාව අනබිභවනීයි. ඩී.ආර්. නානායක්කාර මහතාත් එලෙසම ද්විත්ව භූමිකා රංගනයේ විශිෂ්ටයෙක්. අපේ අවධානයට එතරම් යොමුවී නැතත් ටෝනි රණසිංහ මහතාටත් විකට රංගනයේ සහජ කුසලතාවක් තිබෙනවා. ෆ්‍රෙඩී සිල්වා, දොන් සිරිසේන, බී.එස්. පෙරේරා යන නළුවන් හොඳ අධ්‍යක්ෂවරුන් යටතේ විශිෂ්ට දස්කම් පෙන්වා තිබෙනවා.

    ඔබ කියන නළුවා විවේචන වලට හරිම අකමැතියි. ඔහු තමන්ව විවේචනය කරන්නවුන්ට අපහාස මුඛයෙන් කථා කරනවා. ඔහු හිතන්නේ ඔහු කියන අමන දෙබස් අපි විහිලු ලෙස බාරගතයුතු බවයි. තවත් බොහෝ දේ කීමට ඇතත් මෙතෙකින් නවතිමි.

    ReplyDelete
    Replies
    1. මම සියල්ලම නොදන්නවා වුවත් මා දැකපු සහ බලපු ඒවා අනුව ඔහු කියන දේවල සත්‍යතාවක් තියනවා. මටත් හිතෙන විදියට ඔහු විවේචන වලට අකමැතියි වගේ තමයි.
      හිතට එන දේ කියන්න . මේ බ්ලොගය වෙන් වෙලා තියෙන්නෙ ඒකට තමයි. :)

      Delete
  3. ඔය කියන වීඩියෝ එක මාත් බැළුවා.. අර දංසැල් කතාවනම් සහතික ඇත්ත.. ඇත්තටම ඒක විහිළුවක් නෙමෙයි.. ඒත් ඒ මනුස්සයා ඒක කියන විදිහටයි මුහුණේ ඉරියවු වලටත් හිනා නොවී ඉන්න අමාරුයි..

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි ප්‍රශ්නේ....

      Delete
  4. ලංකාවේ ඇනස්ලි, සැමුවෙල්, බර්ටි කියන චරිත වල නැති වීමත් එක්ක බන්දු ටෙනි හොඳ ආදේශකයක් බව මුල් කාලයේ පිලිගැනීමක් තිබුනා. නමුත් ඔවුන්ට ඒ පිලිගැනීම කාලයත් එක්ක එක දිගටම තියාගෙන ඉන්න බැරි වුනා. සාර්ථකම නැ දැන් ඔවුන්ගේ මෑත කාලයේ විකට ටෙලි නාට්‍ය, චිත්රපටි එකක්වත්.

    ReplyDelete
    Replies
    1. ඒ බව නම් මමත් පිලිගන්නවා. දැන් තියෙන්නෙ විකට චිත්‍රපටි නෙමෙයි බහුබූත. මම ලිපියෙන් අදහස් කලේ මේ නළුවට තියන සහජ දක්ෂතා හරියට පාවිච්චි කරනවානම් ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි.

      Delete
  5. ඔය කියන වීඩියෝ පට දෙකම මම නරඹලා නැහැ...නමුත් එයා ආපු සජීවි වැඩසටහන් බලලා තියනවා.ඒවායේ එයා හැසිරුනේ අර චිත්‍රපටවල කරන විකාර කතා සහ ඉරියව්ත් එක්ක..මම හිතන්නේ , ඒ වැනි වැඩසටහනකදීත් ප්‍රහසන නළුවෙක් විහිළුවෙන් ඉන්න අවශ්ය නෑ කියලා( ප්‍රේක්ෂකයෙකුගේ ඉල්ලීමකට හැර ) ...මොකද ඒ තැනදී එයත් අපි වගේ සාමන්‍ය පුද්ගලයෙක් විතරයි.

    නමුත් මේ අය එයාලව විහිළුවකට ලක් කරගන්නවා කියලයි මට නම් හිතෙන්නේ....

    මම කැමතිම ප්‍රහසන නළුවන් ජෝ අබේ සහ ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
    Replies
    1. ඕනවට වඩා වැඩි උනාමත් එපා වෙනවා තමයි.

      Delete
  6. ඇත්ත ම කිව්වොත් හාස ජනක චිත්‍රපටිවලට මට වැඩි ආසාවක් නෑ

    ReplyDelete
  7. මම නම් පොඩිකාලේ ආසම විකට නළුවා දොන් සිරිසේන

    ReplyDelete
    Replies
    1. කව්ද කියල මට හරියටම මතක නෑ නම කිව්වට.මම නම් කැමතිම ජෝ අබේවික්‍රම තමයි.

      Delete
  8. දැන් ඉන්න ගොඩාක් විහිලුකාරයො කරන්නෙ යමක් විකුර්ති විදියට කරල හිනස්සන්න හදන එක.එතකොට හිනායන්නෙ නැ.මල පනිනව

    ReplyDelete
    Replies
    1. ඇත්ත. විනෝද සමය වගේ වැඩසටහන් එක්ක සසඳද්දී දැන් තියන ඒවා කසල ගොඩවල් තමයි.

      Delete
  9. බදුගේ බෙර වීඩියෝ එක මම දැක්කා ................................................!
    සිංදුව පෙන්නුවේ .
    පොස්ට් එක සෝයි මතං

    ReplyDelete