Thursday, November 21, 2013

පොඩි කාලෙට ගියෙමි.



ගත්තේ මෙතනින්.
ඔන්න අද වැඩ කර කර ඉන්න ගමන් ඒක පාරටම මට පරණ කාලෙ මතක් උනා. මතක් වෙලා පටස් ගාල අන්තර්ජාලේ පැත්තට කරක් ගහල බැලුව. මෙන්න බොලේ බඩු තියනවා. මට පුදුම සතුටක් දැනුනේ ඒ වෙලාවේ. දන්නවද මොනවද හම්බ උනේ කියල..?  

Contra Force

දැන් සමහර අය බලනවා ඇති මේ මොන හරුපයක්ද කියල. පොඩි එවුන් සහ වයසක කට්ටිය තමයි එහෙම බලන්නේ.නමුත් මගේ වයස් සීමාවෙ ඉන්න ගොඩක් අය මේ නම ඉස්සර කාලේ ගොඩක් අහල ඇති. මොකද දැන් කාලෙ වගේ පරිගණක තිබුනෙ නෑ හැමෝටම. මම නම් 5 වසර ට විතර ආවට පස්සෙ තමයි මුලින්ම පරිගණකයක් දැක්කෙත් අම්මගේ ඔපිසියේදී. ඒ කාලේ අපිට ඔච්චර පහසුකම් තිබුනෙත් නෑ නොවැ.

එතකොට මම හය වසරේ විතර ඇති. දහම් පාසලේ මගේ හොඳම යාළුවා උනේ මල්ලි කෙනෙක්. නම චාමර. මල්ලි කෙනෙක් උනත් මිනිහව අපේ පන්තියට තමයි දාල තිබුනෙ. පවුලේ එකම කොලුවා. ඉතින් ගෙදර අම්මයි තාත්තයි කියන කියන හැම එකක්ම මේකට අරන් දුන්න.ගෙදර තිබුනෙ දහම් පාසලට පහල පාර අයිනේ. 

දවසක් මේකා ආව උදේම මාරම සන්තොසෙකින්. 
"අයියේ මට TV game එකක් අරන් දුන්නා ".

මම අන්දුන් කුන්දුන්. 
"ඒ කිව්වේ ? "

"ඒක TV එකට සෙට් කරලා ගේම් ගහන්න පුළුවන්. "

ඒ කාලේ වෙනකොට මම දැකල තිබුන එකම ගේම් ඒක තමයි මෙන්න මේක. 


දන්නා කට්ටිය දන්නව ඇති මේක ඒ කාලෙ කොච්චර ජනප්‍රියද කියන එක. මේවා තිබුනෙත් බොහොම ටික දෙනෙක් ගාව විතරයි. ඒ හින්ද අයිතිකාරයාගේ යාලුවන්ට තමයි ඕව සෙල්ලම් කරන්න පින ලැබුනේ. මේ වගේ එකකින් එහාට අපි ගේම් දැකල තිබුනෙ නෑ. ඉතින් ඒවා කොහොම වෙන්න ඇද්ද කියල මට හිතා ගන්න බැරිවුනා. 

දහම් පාසල ඇරෙනකම් ඕක ගැන තමයි කතා කර කර හිටියේ. 12 30 ට ඇරුන ගමන් කෙලින්ම දිවුවේ චාමර මලයාගේ ගෙදරට. ඔන්න දැන් මිනිහ ගේම් සෙට් ඒක එලියට ගත්ත.අරගෙන TV එකට සෙට් කළා. ඒ අතරේ ඒක කොහොමද හරියට සම්බන්ධ කරන්නෙ , ඒ වගේම හරි විදියට සුසර කරගන්න විදිය (Tune) එහෙමත් කියල දුන්න. ඔන්න අන්තිමට ගේම පටන් ගත්ත. මගේ අම්මෝ....මේ මොනවද මේ..? දෙපාරක් පිස්සු හැදුනා මට. ඔන්න ඔහොම මුලින්ම ගහපු ගේම් ඒක තමයි Contra Force කියන්නෙ.

හැම සතියෙම ඉරිදට ඕක ගහන්න මග බලාගෙන ඉන්නෙ. ඉස්කෝලේ ඇවිත් කියවන්නෙත් ඕක ගැන විතරයි.ගෙදර ගියත් කියවන්නෙ ඕක ගැන. සමහර දවස් වලට දහම් පාසැල ඇරිලා ගෙදර යන්නත් අමතකයි. ඒ වගේ දවස් වලටතාත්ත ඇවිත් එක්කරගෙන යනව.එදාට ඉතින් එක්කෝ ගුටි කන්න වෙනවා එහෙම නැත්තම් කන පිරෙන්න බැනුම් අහන්න වෙනවා. 

අහම්බෙන් අතීතෙට ගිය TV ගේම් එකක් හින්ද. අන්තර්ජාලෙන් හොයල සෙල්ලම් කළා අද දවල් . දුකත් හිතුනා මට ඒ අතරේදී. අපේ වයසේ අය තමයි මුලින්ම සහ අවසාන වතාවට TV ගේම් ගහපු අය. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.


Tuesday, November 12, 2013

ලාබයි ඇපල් - දැන් අවුරුදු දෙකයි.




ඔන්න කොහොමින් කොහොමින් හරි දෙවෙනි උපන් දිනෙත් පහුවුනා.අද නෙමෙයි ඊයේ තිබුනෙ. ඒ කියන්නෙ 2011 - 11 - 11 වෙනිදා පටන් ගත්ත මේ බ්ලොග් පැටියා ට දැන් අවරුදු දෙකක් වෙනවා. යන්තම් බඩගාගෙන යන්න පුළුවන්. තවම දනගාන්න බෑ. එකට තව කල් යයි. මේ සන්තෝසෙට මගේ යාළුවා සහ මම ඊයෙ දවසෙම පාටි දැම්ම. වෙන කොහෙවත් නෙමෙයි සිනමන් ග්‍රෑන්ඩ් හොටෙල් එකේ. හොඳට කාල හොඳට බීල නටල හෙන ජොලියක් ගත්ත ඉතින්. කියල වැඩක් නෑ. අවුල කියන්නෙ අපේ අම්ම කතා කලානේ. එතකොටම ඇහැරුනා .  

අවරුදු දෙකක් කියන්නෙ මහා ලොකු කාලයක් නෙමෙයි.නමුත් බ්ලොග්කරණයේදී නම් අවරුදු දෙකක් කියන්නෙ දැනුම් සම්භාරයක්. මිතුරන් මහා ගොඩක්. ඒ වගේම තමයි සතුට දුක බෙදාගන්න අම්බලමක්. ලෝකේ කොහේ හිටියත් මෙතැනදී අපි හැමෝම හම්බ වෙනවා. හම්බ වෙලා එක එක්කෙනාට සිද්ධ උන ජොලි සිද්ධි දුක සිද්ධි අත්දැකීම් බෙදාහදා ගන්නවා. 

මට ඒ කාලෙ ඉඳන්ම මගේම කියල වෙබ් අඩවියක් හදාගන්න උවමනා වෙලා තිබුනා. ඒ කාලේ මම බ්ලොග් ගැන දන්නේ නෑ . කොහොම හරි මගේ යාලුවා අංජන මට දවසක් ලින්කුවක් එවල තිබුනා. මමත් බැලුව. ඒකෙ තිබුනෙ බ්ලොග් එකක්. නම තමයි මගේ ලෝකය . මේක දැක්කෙ නැත්නම් මම බ්ලොග් එකක් පටන් ගන්න තියා ඒ ගැන දැනගන්නේවත් නෑ තව කාලයක් යනකම්. ඒක කාලයක් තිස්සේ බලල අන්තිමට මම මගේම කියල එකක් පටන් ගත්ත. නමක් කල්පනා කරනකොට මගේ ඔලුවට ඒක පාරටම ආවේ ඒ ටික කාලයකට කලින් ප්‍රදර්ශනය වෙවී තිබුන නාට්‍යයක නමක්. ඉතින් ඒ නම තමයි ලාබයි ඇපල්.

මෙතැනදී හම්බ උන මිතුරන් කැල , මිතුරුකම , සුහදකම සෑහෙන්න වටිනවා. මේ බ්ලොග් කරන අයගෙන් මම පෞද්ගලිකව අඳුනන අය ඉන්නෙ දෙන්නයි එහෙම නැත්නම් තුන් දෙනයි. නමුත් ඇපල් නමින් මා හඳුනන අය ඕන තරම් අන්තර්ජාලයේ ඉන්නවා . මහා විශාල ප්‍රමාණයක් නොවුනත් , ඒක පොස්ටුවකට වැටෙන හිට් ගාන 200 පන්නන්නෙ ඉඳල හිටලා උනත් මට ඒ හොඳටම ඇති. ඉස්සර නම් හිට් ගාන 100 පන්නම දැනෙන සතුට කියල වැඩක් නෑ. දැන් නම් 250 පන්නල එනවා.

සමහර කාල වලට මාසෙකට එක පෝස්ටුවක් විතරක් දාපු කාලවලුත් තිබ්බ. ඒකට සමාව ඉල්ලලා පෝස්ටුවක් දැම්මම මට බැනගෙන බැනගෙන යන අයත් ඉන්නවා . ඒ හින්දා මම තීරණයක් ගත්ත ආයිත් සමාව නොඉල්ලන්න වැඩ කොරන්න. නැත්නම් හැමදාම මේ සුමේ කොරන්න පුළුවනැයි මම අහන්නෙ . ඒ බැනුම් වලින් ඇත්තටම මාව දිරිමත් උනා.කාලෙයක් නොලියා හිටියත් මාව අමතක වෙලා නෑ කියල හිත යටින් සතුටකුත් එක්ක කඳුලකුත් මතුවුනා. සතුටට. එහෙම දිරිමත් කරපු හැමෝටම ගොඩාක් පින්. හැමෝගෙම හයියෙන් මෙච්චර දුරක් එන්න ලැබුන ඒක ගැන මට ගොඩක් සතුටුයි. 

ඇත්තටම කියනවනම් මම ඊයෙ තමයි මේක දාන්න ඕනා කියල හිතාගෙන ආවෙ. බෝඩිමේ ඉඳන් ගෙදර ඇවිත් හොඳට නිදාගෙන ඇහැරලා තිබුන වැඩ ටික කරද්දී මට ඉබේම අමතක වෙලා ගියානේ...බලන්නකෝ එකෙත් හැටි. මගේ යාළුවො මගේ මතක ශක්තියේ විශිෂ්ටත්වය ගැන එක එක ඒවා කියන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ බලාගෙන යනකොට . හනේ හපොයි. 

එහෙනම් මෙන්න මම ඇත්තටම උපන් දිනෙක කරන්න කැමති දේ...



මට ජයවේවා.....!

Thursday, November 7, 2013

කසාද බැඳිල්ල

ජිවිතේ කියන්නෙ හරි පුදුමාකාර දෙයක් කියල සමහර වෙලාවට මට හිතිලා තියනවා. කාලයත් එක්ක ජීවිතේ කොච්චර නම් වෙනස් වෙලාද. පොඩි කාලේ මවපු හීන සමහරක් අද වෙනකොට හැබෑ වෙලා . තවත් සමහර හීන තේරුමක් නැති මහා පුස් දේවල් කියලත් තේරුණා. මෙච්චර දේවල් වෙන ජීවිතේ සිද්ද වෙන ලොකු වෙනසක් තමයි විවාහය කියන එක මම නම් දකින්නෙ.

කව්රු කොහොම කිව්වත් පොඩි කාලේ කියල නෑ කෙල්ලෝ කොල්ලන්ට කැමතියි. කොල්ලෝ කෙල්ලන්ට කැමතියි . ඒ කාලේ ඉතින් ලස්සන කෙල්ලෙක් එහෙම කතා කරලා යනකොට අනික් කොල්ලන්ගේ මුනවල් දැක්කත් ඇති පට්ට ගටක් එනවා . ඇයි ඉතින් ඒ කාලේ එහෙම එකක් වෙන්නෙත් බොහොම කලාතුරකින්නේ.උනාම කොල්ලෝ අතරේ අර කොල්ලා මහා වාසනාවන්තයෙක් හැටියට තමයි සලකන්නේ. (අත්දැකීමෙන් එහෙම කියනවා නෙමෙයි ඕං.

ඔහොම ගිහින් ගිහින් ගිහින් ඉගෙනගෙන ඉවරවෙලා හෝ නැතා හෝ අන්තිමට තමන්ගේ ජිවිතේ ඉතුරු කාලය එකට ගත කරන්න පුළුවන් කෙනෙක් එක්ක කසාද බඳිනවා. ඊට පස්සෙත් නිදහසක් කියල එකක් නෑ කොහොම උනත්. කොච්චර නම් වැඩ තියනවද ඊට පස්සෙ. නේ.....හ් .  හැබෑටම කසාද බඳින ඒකෙ තේරුම මොකක්ද? මම කියන්නෙ ලංකාවේ විදියට. පිටරටවල් වල නම් ඕන වෙලාවක දෙන්නට වෙන් වෙලා යන්න පුළුවන්නේ. නමුත් ආසියාතික ගොඩක් රටවල එහෙම නිදහසක් දකින්න ලැබෙන්නෙ නෑ.

සමහර අය කියනවා මේවා සිද්ද වෙන්නෙ දෙවියන්ගේ කැමැත්තට කියල. සමහර අය කියනවා සසරෙ පතාගෙන ආපු හින්ද කියල.(ඒකනේ යාළුවෙලා මාස දෙකෙන් පැනල ගිහින් කසාද බඳින්නේ..)  කොච්චර උනත් තමන්ගෙ ආර්ථික තත්වෙ හොඳ නැත්නම් එහෙමත් නැත්නම් ඉන්න හිටින්න හරි හමන් තැනක් නැත්තම් , හදිස්සි වෙලා කරගන්න කසාදෙ ගාල ගෝට්ටි පිරුණු සුරපුරයක් බවට පත් වෙනවා.ඉතින් මේ සුරපුරේ ටික දවසක් ඉන්නකොට දෙන්නගේ නොගැලපීම් වෙනදට වඩා හොඳට පේන්න ගන්න පටන් ගන්නවා. ඊට පස්සෙ කසාදෙ තනිකරම mortal combat වගේ තමයි.

තවත් සමහරු ගෙවල් වල බල කිරීමට විවාහ වෙනවා. ඒ මොකද අම්මල තාත්තලාගේ හිත නරක කරන්න තියන අකමැත්ත නිසා හෝඑයාලට තියන බය නිසා. කලින් තරම් නැතිවුනත් මේකෙත් ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. ඒ උනත් මම දැකල තියනවා එහෙම බැඳපු අය ටික කාලෙකට පස්සෙ බලනකොට ආදරෙන් වෙලිලා එතිලා ඇඹරිලා ලෝකෙටම ආදර්ශයක් විදියට ඉන්නවා. එකෙන් සනාථ වෙනවා හැම දෙයක්ම වෙන්නෙ හේතුවක් ඇතිව කියල. 

තව කියන්න ඒව නම් සෑහෙන්න තියනවා. ඒත් එහෙම උනොත් කට්ටියට බලන්න එපා වෙන හින්ද දැනට නවත්තන්නම් . හිතුනොත් ඉතුරු ටිකත් පස්සෙ වෙලාවක ලියල දාන්නම්කො....


Wednesday, November 6, 2013

කම්මැලි වගේ ...

ඔන්න සෑහෙන කාලෙකට පස්සෙ ආයිත් ලිපියක් දාන්න හිතුනා. මෙච්චර දවසක් ලියන්න බැරිවුනේ දැඩි ලෙස කාර්යබහුල වෙලා හිටපු හින්දා. දැන් කස්ටිය කල්පනා කරනවා ඇති මොකක්ද යකෝ මේකට මෙච්චර කාර්යබහුල වෙන්න තරම් තිබුන ඒක මොකක්ද කියල. තවත් සමහර අය ඒක ඒක ඒවා හිතනවා ඇති ඒත් මම ඒවා ගැන කතා කරන්න යන්නේ නෑ. හුහ්.

වෙන මොනවත් නෙමෙයි ඔන්න අපේඅනික් අක්කත් කසාද බැඳලා ගියා. ඔකේ වැඩ තමයි තිබුනෙ. ඒ එක්කම බ්ලොග් ලියන්නවත් කියවන්නවත් මානසිකත්වයක් තිබුනෙ නෑ.පහුගිය දවස් වල කට්ටිය ලියපු එකම ලිපියක්වත් කියවන්න බැරිවුනේ ඒ හින්ද තමයි .සමා වන සේක්වා.....!

දැන් ඉස්සරහට ආයිත් පටන් ගන්න බැරියැ කියල තමයි හිතාගෙන ඉන්නෙ. කැම්පස් පටන් ගත්ත හින්ද ඒවයෙත් වැඩඑකතු වෙයි. ඒ උනත් අද ඉඳන් නම් කට්ටිය ලියන ඒවා අනිවා බලන්නම්. මොනවා මොනවා හරි ලියන්නත් බලන්නම්. ලියනවා කිව්වට ඔහේ වල්පල් ලියන්නත් බැහැනේ . ඒ හින්ද ටිකක් කල් අරගෙන ඒක දෙක ලියන්න තමයි වෙන්නෙ. කොහොම කොහොම හරි බ්ලොග් ඒකෙ උපන් දිනෙත් ලගම එනවා. ඊට කලින් පොස්ටු 100 කොහොම හරි සම්පුර්ණ කරගන්න හිතාගෙන හිටියේ. ඔක්කොම දැන් වතුරේ.

එහෙනම් ජයවේවා කිව්වා ඕං.....