Monday, September 15, 2014

ජීවිතේ තේරුම ?

ඔන්න සෑහෙන කාලෙකට පස්සෙ මට ආපහු ලියන්න හිතුනා. යන්තම් තෙවැනි වසරේ විභාගේ ඉවර උනා විතරයි. නිවාඩු කාලයක් තියෙනවනේ. ඉතින් නිදහසේ එකක් දෙකක් ලියන්න කාලය තියනවා. ඔය වයලිනෝ සහ සිංදුවා මට අපහාස කොලාට නොසැලී නැවත මේක ලියන්න අදහස් කරගත්තේ විභාගේ පටන් ගත්ත දවස් වලමයි . කාලෙන් කාලෙට එක එක ඒවා පටන් අරගෙන ටික කලක් ගියාම එපා වෙන එක මගේ හැටියක්. එහෙව් එකේ මේක අවරුදු දෙක තුනක් ලිව්වා කිව්වමත් මට පුදුම හිතෙනවා.  කෙසේ වෙතත් ඉඳල හිටලා හරි ලියන්න එපැයි. එතෙක් මෙතෙක් කාලේ තුර සෑහෙන ලිපි ගොඩක් මා අතින් මග ඇරිලා නම් තියනවා.ඒ හැම එකක්ම කියවන්න නම් බැහැ. නමුත් ඉදිරියට යන ඒවා නම් ඔක්කොම කියවන්නම්. 

සිද්ධ උන සිදුවීම් නම් බොහොමයි. ඒ උනාට ඔක්කොම එක පාර බැහැනේ. ටික ටික ලියන්නම්. අද ලියන්න යන්නේ කාලයක් තිස්සේ මට මතුවෙන ප්‍රශ්නයක් ගැන. මේකට විසඳුමක් හොයන එක නම් සෑහෙන අමාරු වැඩක්. එක පැත්තක් ගැන විතරක් හිතල නම් විසඳුමක් ලබාගන්න පුළුවන්. එත් අපි ජීවත් වෙන හැටියට එහෙම කරලා ගන්න විසඳුම් සාර්ථක නැහැ. 

අපි හැමෝම ඉපදෙනවා. ඊට පස්සෙ ඉස්කෝලේ යනවා.සමහර අය උසස්පෙළ එහෙම සමත් වෙලා සරසවියට යනවා.එහෙම නැති අය මොනවා මොනවා හරි කරලා රස්සාවක් හොයා ගන්නවා. ඇත්තටම ඉගෙන ගැනීමේ අවසාන පරමාර්ථය රැකියාවක් සොයා ගැනීම තමයි. ඊට පස්සෙ විවාහ වෙනවා. දරුමල්ලෝ හදනවා. වයසට යනවා. මැරෙනවා. අපේ රටේ ඉන්න ගොඩක් අයගේ ජීවන රටාව මේක තමයි. මීට වඩා වෙනස් විදියක් ඇත්තෙම නැද්ද? 

මේ දවස් වල සිංදුවා රස්සාවට යන හින්දා කියන කතා වලින් රස්සා වල තරම හිතා ගන්න පුළුවන්. උදේම යනවා, කැන්ටිමට ගිහින් කනවා, වැඩ පටන් ගන්නවා, දවල්ට ආයිමත් කනවා, වැඩ කරනවා, හවසට ගෙදර එනවා, කනවා, නිදා ගන්නවා, උදේ නැගිටිනවා යනාදී වශයෙන් හැමදාම ඒකාකාරී ජීවන රටාවක්. මීට වඩා වෙනස් ක්‍රමයක් තියනවද? අපේ රටේ හැටියට වෙන ක්‍රමයක් නැද්ද? 

ඔහොම හිතාගෙන යනකොට ඇයි මිනිස්සු සසර ගැන කලකිරිලා මහන වෙන්නේ කියලා අවබෝධ උනා. එහෙම කරන්නත් සෑහෙන හිතේ හයියක් තියෙන්න ඕන. මම කියන්නෙ ලැබ සත්කාර බලාපොරොත්තුවෙන් හෝ ක්ෂණික කලකිරීමක් හින්දා මහන වෙලා ටික කලකින් ආයිමත් ගිහි වෙන අය ගැන නොවෙයි.සැබෑ ලෙසම කලකිරිලා අවබෝධයෙන් මහන දම් පුරන්න එකතු වෙන අය ගැන. ගොඩක් අය මේ වගේ තීරණයක් ගන්න බැරුව කලකිරීමෙන්ම ජීවිතේ ගෙනියනවා. 

මට පහුගිය අවරුදු කිහිපය තුල සෑහෙන්න දේවල් ඉගෙන ගන්න පුළුවන් උනා. ඒ බොහොමයක් දේවල් මිනිස්සු ගැන. මිනිහගේ හිත කොච්චර වෙනස් වන සුළුද කියන එක ගැන හොඳ තේරුමක් තියනවා දැන් නම්. ජීවිතේ සමහර පැති ගැන වෙනස්ම ආකාර වලින් බලන්නත් මට පුළුවන් උනා. එහෙම නිසා මගේ ඉස්සර තිබුන සමහර නොගැලපෙන ගති පැවතුම් පවා වෙනස් කරගන්න පුළුවන් උනා. ගොඩක් මිනිස්සු ජීවිතේ කියල ගත කරන්නෙ කිසිම හරයක් නැති, වටිනාකමක් නැති මහා පුස් දෙයක් කියන එක දැන් මට තේරෙනවා. 

මෙකෙන කියන්නෙ හැමෝම මහන වෙන්න ඕන කියන එක නෙමෙයි. මම තවමත් බොහොම විනෝදෙන් ඉන්න කෙනෙක්. මගේ යහළු මිත්‍රයින් ඒ ගැන දන්නවා. සමාජෙ ඉන්න මිනිස්සු එකිනෙකාට වෙනස් හින්ද ජීවිතේ දිහා බලන ආකාර විවිධයි. මගේ කෝණය සමහර අයට විහිළුවක් වෙන්නත්, සමහර අයට බැරෑරුම් දෙයක් වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඒ ගැන ඉතින් කරන්න දෙයක් නෑ. මිනිස්සු විවිධාකාරයි නේ.... හැම මිනිහම එකිනෙකාට වෙනස්, ඒ හින්දා ඒ ඒ අයගේ මතවාද ගැන අපිට අදහසක් පල කරන්න පුළුවන් උනාට ඒ මිනිස්සුන්ව විවේචනය කරන්න අපිට අයිතියක් නෑ කියන එක මට කියා දුන්නේ සිංදුවා. මිනිහට නම් දැන් ඕවා මතක නැතුව ඇති. ඒ උනාට ඒ කාලේ ඉඳල හිටලා ඔය වගේ වැදගත් දේවලුත් කියවෙනවා ඕකා අතින්. 

ඔහොම කියාගෙන යනකොට වෙනස්ම ආකාරයේ ජීවිත ගෙවන අයත් අපි අතරේම ඉන්නවා. මගේ මිතුරෙක් ඉන්නවා ඔහු තවම විවාහ වෙලා නැහැ. දැන් වයස 42ක් විතර වෙනවා මට මතක හැටියට. නමුත් විවාහ නොවුනා කියලා ඔහු කිසිම විදියකින් දුක් වෙන්නේ නැහැ.බොහොම විනෝදෙන් ඉන්නවා. තමන් කැමති තැනක යනවා. වෘත්තියෙන් නිවාස සැලසුම් ශිල්පියෙක්. ඒ අතරේ හැම දහම් කටයුත්තකටම සම්බන්ධ වෙනවා. ඒ ඔහුගේ ජීවිතය. ඔහු කියන්නෙ ජීවිතේ බැඳීම් නැති හින්ද හරිම සැහැල්ලුයි කියල. ඒත් සමහර අය නම් කියනවා ඔහොම ජීවත් වෙලා ඇති පලේ මොකක්ද කියල. ඒ උනාට ඒ ඔහු කැමති ජීවිතය. 

මට නම් සමහර වෙලාවට මෙන්න මෙහෙමයි පේන්නෙ. 

ජීවිතේ කවියක් 
ආදරේ....සොඳුරුතම වදනක්.
කඳුලැලි බිඳක්...හසරැලි පොදක්...
එකට එක්වූ විට දැනේ...
පෙර නොවිඳි රසයක් 



16 comments:

  1. ශා ලස්සන සිංදුවකින් ඉවර කරලා තියෙන්නේ. ඔව් ජීවිතේට පැණි රහ වගේම ලුණු රහත් අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. පැණි රසට වඩා ලුණු,ඇඹුල් සහ තිත්ත රස තමයි ජීවිතේ ගොඩක් අයට දැනෙන්නෙ.

      Delete
  2. ඒකාකාරී ජීවන රටාව ලෝකයේ එදත් තිබුනා. අදත් තියනවා. හෙටත් තියෙයි. එය වෙනස් කරන්න අමාරුයි. කරත්තෙක දාගෙන රටපුරා බඩු විකිණීමේ යන මිනිහෙකුගේ ජීවිතයත් ඒකාකාරියි. අපි හැමවිටම අනික් මිනිහා සමග සංසන්දනය කර බැලුවත් ඒ හැමදෙනාමත් ඒකාකාරී තමයි. විවිධ විනෝදාංශ, ආගමික කටයුතු, ආදියට නැඹුරුවීමෙන් තමයි ඒකාකාරිත්වය බිඳෙන්නේ.

    විවාහය ජීවිතයට අවශ්‍යයි සහ අනවශ්‍යයයි කියන දෙපැත්තටම පනහට පනහ කරුණු කියන්න අය ඉන්නවා. ලෝකේ ඔක්කොම හිතුවොත් මම විවාහ වෙන්නේ නැහැ කියලා? ..............................................................................

    ReplyDelete
    Replies
    1. ඒක හරි.හැම මනුස්සයම එකිනෙකාට වෙනස් නේ... ඒක හරියටම හරි කියල කියන්න පුළුවන් කොමෙන්ට් බැලුවම ලිපියකට තියන. :)

      Delete
  3. ඔහේප් පලයන් මෙන්න මූ පොස්ට් එකක් ලියලා....! එලද කිරි. හැක හැක හැක කිව්වත් වගේ අර මොකක්ද ටෝක් එක මටනම් මතක නෑ බන් සිරාවටම. :D
    ඔය ඒකාකාරී බව නැති කරගන්න විදියක් කියන්නද. කෙටි කාලීන ඉලක්ක තියාගනින්. ඉස්සර අපි ඉන්ජා වෙනවා ඩොකා වෙනවා වගේ ගව් ගණන් දුර ඒවා නැතුව. පොඩි පොඩි එව්වා...එතකොට ඒක ඉටුවෙනකම් පොඩි ත්‍රිල් එකකින් ඉන්න පුළුවන්. හැක හැක හැක ජය ජය මචාන් !

    ReplyDelete
    Replies
    1. එහෙමමත් බෑ බන්. ලොකු ඉලක්කයක් එක්ක පොඩි පොඩි ඒවා තියාගෙන තමයි ඉන්න වෙන්නේ දැනට. ;)

      Delete
  4. ජීවිතේ ගලාගෙන ගඟක් වගේ පහලට ඇදෙනවා බන්, පුළුවන් තරම් උඩුගන් පීනන්න බලපන්, ජීවිතයක් ඇත්තටම නා බන්, තියෙන්නේ එකකට එකක් පටිච්ච සමුප්පන්න වෙච්චි සිද්දි ටිකක්, එක සිද්දියක අවසානය තව සිද්දියකට ආරම්බයට මුල වෙනවා බන්, අපි ඔය අස්සේ අපේ අපේ හිතෙන් මවාගත්ත සිද්දිය හැබෑ කරගන්න ජීවිතේට ඉබේ ලැබෙන සිද්දිය බිල්ලට දෙනවා, ජීවිතේ හරියටම තේරුම් ගත්තානම් රහත් වෙලා බන්.ආයේ වෙන කමටහනක් ඕන නෑ. ජීවිතේම ඇති බන්, ජය වේවා

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ජීවිතේ කියන්නෙ එක අතකට මහා පුදුමාකාර දෙයක්.

      Delete
  5. ලාබයි ඇපල් කීවට මුගෙ පොස්ට් නං ලාබ නෑ වගේ...
    ආයෙ ආපු එක සැප දුක සමබඑ කරන් දිගටම ලියමු..
    අපිත්එන්නං ඉඩ හැටියට

    ReplyDelete
    Replies
    1. මේ මට බ්ලොග් ලියන්න කියල දීපු එකා . මුන් හොයන්න පොලිසියෙන් දාන්න ඕන දැන් :/ මෙහෙමවත් පෝස්ට් එකක් දැම්මේ නැත්නම් .

      Delete
    2. @Mahesh : හිතට දැනෙන දේ බන් කියන්නේ....... 2):)

      Delete
    3. @වයලා : එහෙම තමයි මලය හැමදාම දකිනකොටත් අගයක් නෑ නොවැ. :D

      Delete
  6. උඹ ඉතිං අවාරෙට පොල් හැලෙනවා වගේ යමක් ලියන්න උත්සාහ කරන එකත් අගය කල යුතුයිනෙ...ජීවිතය පිිළිබද ගොඩාක් දේ ඉගෙන ගන්න පුලුවන් තමන් තනි උනාම....මම අද ඒක විදිනවා...තනිකම ඇතුලෙත් අමුතුම සුන්දරත්වයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. ලියන්නම් දැන් දිගටම.
      ජීවිතය හරි ගුප්තයි සිරා අයියා...නොහිතන දේවල් මයි සිද්ධ වෙන්නෙ නිතරම.

      Delete
  7. නැන්දම්මට හුඩු මෙන්න මූ පෝස්ට් එකක් දාලා . ඒකාකාරී වෙන නිසා තමා බොල කියන්නේ බ්ලොගවත් ලියන්න කියලා . මෙගා සීරියස් නම් පටන් ගන්න එපා . ඉවර කරනකන් බොකු බඩවැල් කූල් වෙලා ඉන්නේ . ඇයි මුන් අනිත් කොටස දානකන් කන්න වගේ බලාගෙන ඉන්නවනේ . :p :p :p

    ඉඳලා ඉඳල සිංදුවත් පස්ට කතාවක් කියලා තියෙනවා . සිරා කතාව ඒක . ඔය කැම්පස් ලයිෆ් එකේ තියෙන ෆන් එක ඕක තමා . අපි කිව්වට එපාවෙලා කියලා , අර එක්සෑම් මේ එක්සෑම් කෙටිකාලීන ඉලක්ක නිසා එපා වෙන්නේ නෑ . කාලේ ගතවෙනවා දැනෙන්නේ නෑ ඒ නිසා . :p :p

    ලියපන් මේක . මරණව නැත්නම් .

    ReplyDelete
    Replies
    1. ලියනවා දැන් නම් පුළුවන් විදියට. ඉස්සරහට සංචාරය කරන්නත් අදහසක් තියනවා. ඒවා ගැනත් දාන්න බැරියැ.
      :-bd

      Delete