Monday, June 22, 2015

අංගම්පොර

ඇම්බැක්ක දේවාලයේ ඇති කැටයමක්.


ඔන්න කතාව පටන් ගන්න යන්නේ....එන්ඩෝ.....
පොඩ්ඩක් ඇන්ටනාව හරවන්න පේනවා මදි.
තව ටිකක්..
නෑ නෑ අනික පැත්තට හරවන්න ආපහු
ආ දැන් ඇති ටිකක් පැහැදිලි උනා. ඔය ගානට වත් බලමු.

මේ මොකටද ලැස්ති වෙන්නෙ? දඬුබස්නාමානය බලන්න ගෙදර කට්ටියත් එක්ක රුපවාහිනිය වටේ එකතු උනේ මෙන්න මෙහෙමයි. ඒ කාලේ අපිට තිබ්බේ NATIONAL කියල වර්ගයක කළු සුදු එකක්. අනික් එක අපේ ගෙදර තියෙන්නෙ කඳු වළල්ලකින් වට වෙලා. ඒ හින්ද ITN එකයි ජාතික රුපවහිනියයි තමයි පෙනුනේ. එකත් තිත් මහා ගොඩක් එක්ක ඇද වෙවී තම බැලුවේ. කොහොම වෙතත් මොනවා හරි කරලා අපි මේ නාට්‍යය බලන්න නම් එකතු උනා. අනික් ටෙලි නාටක වලට වඩා වෙනස්ම කතාවක් තිබ්බ මේකේ ප්‍රධාන චරිත වලට අපි සෑහෙන්න ආදරය කලා. 

අංගම්පොර කියන නම ඇපල් ට මුලින්ම ඇහුනේ මේ නාට්‍යය හරහා. ඕක බලල ගිහින් ඉස්කෝලේ උන්ගෙ එහෙට මෙහෙට ඇනල අපි කියනවා නිල වලට ගැහුවා දැන් උඹ ඉවරයි තව ටික වෙලාවකින් උඹ මැරෙනවා කියල. ඒ කාලෙත් මම පාසලේ ප්‍රසිද්ධ වෙලා හිටියේ නිතරම රණ්ඩු කරන ඕන වෙලාවක වලියට යන කෙනෙක් හැටියට. ඉතින් සමහර අය අරෙහෙම කිව්වම බයත් උනා මට මතකයි. අංගම්පොර කියන නම ඒ කාලේ අපි අතරේ එච්චර ප්‍රසිද්ධ නොවුනත් පහු කාලෙක මේ ගැන හොයල බලන්න මට ආසාවක් ඇති උනා.මේ ආසාව හින්ද පුළුවන් කාලෙක අන්තර්ජාලේ පෙරළුව මේ ගැන තොරතුරක් හොයාගන්න. ඒ වගේම එක එක පුද්ගලයන්ගෙනුත් ඇහුව. නමුත් මට සෑහීමකට පත් වෙන උත්තරයක් නම් හම්බ උනේ නැහැ.

මම දන්නා හැටියට අංගම්පොර කියන අපේ සටන් කලාවට සැහෙන ඉතිහාසයක් තියෙනවා. විජය කුමාරය , එහෙමත් නැත්නම් විජය කියන තක්කඩියා ()මේ සිරි ලංකාවට පය ගහනකොට මේ රටේ ගෝත්‍ර 3 ක් හිටිය කියල අපි අහල තියෙනවනේ. මේ අතරින් යක්ෂ ගෝත්‍රයේ කුවේණිය ව රවටගෙන මේ රට අල්ලගත්ත හැටි අපි හැමෝම දන්නවා. මහාවංශයේ සඳහන් තොරතුරු අනුව මේ යක්ෂ ගෝත්‍රිකයෝ බොහොම දරුණු, ඒ වගේම සවි ශක්තියෙන් ඉහල ජන කොට්ඨාසයක්. මොවුන් අතින් පයින් කරන සටන් වලට ඇති දක්ෂයින් කියල සඳහන් වෙනවා. අනික් ගෝත්‍ර ගැන සඳහනක් නැති උනත් ඒ අයත් විවිධ ආකාරයේ සටන් හැකියාවන් තිබුන පුද්ගලයන් වෙන්න ඇති කියල අපිට උපකල්පනය කරන්න වෙනවා. ඒ මොකද අපේ රට වගේ මුහුදෙන් වට උන සහ විවිධ ධන ධාන්‍ය වලින් පිරුණු රටකට සතුරු ආක්‍රමණ වලින් බේරෙන්න කුමක් හෝ ක්‍රමයක් තිබිය යුතුයි. ඒ අතරේම භුමි ප්‍රදේශ වලට රට ඇතුලෙම සටන සිද්ධ වෙනවනේ. මේ වගේ වෙනකොට සටන් කලා කියන ඒවා නිකම්ම බිහි වෙනවා.

මේ ආකාරයට විවධ ගෝත්‍ර අතරේ තිබ්බ විවිධ සටන් ක්‍රම එකතු වෙලා අංගම්පොර හැදෙන්න ඇති කියලයි මගේ නම් අදහස. (සංවාදයට විවෘතයි) . මේක කාලයත් එක්ක උස් පත්වීම් එක්ක දියුණු වෙලා එන්න ඇති. පෘතුගීසින් මේ රට ආක්‍රමණය කරපු කාලේ අංගම්පොර සටන් කලාව උච්ච මට්ටමක තියෙන්න ඇති කියල අපිට හිතන්න පුළුවන්. විමලධර්මසුරිය රජතුමා පෘතුගීසින් සමග කරන දන්තුරේ සටනෙදි සතුරු සෙබළුන්ගේ හිස් වලට ඉහලින් ඔවුන්ගේ පෙළ මැදට පැන සටන් කල සිංහල සෙබළුන් දැක පෘතුගීසින් පුදුමව වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ විදිහට සතුරු ආක්‍රමණ වලට මුහුණ දීමට අංගම්පොර කියන මේ දේශීය සටන් කලාව ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා.  උඩින්ම දාල තියන පින්තුරෙනුත් මේක ඔප්පු වෙනවා. 

මීට වඩා අංගම්පොර ඉතිහාසය ගැන මට දැනුමක් නම් නැහැ. ලෙව්කේ රාල , සුදල්ලිය සහ මාරලිය ගුරු කුල, ඒදඬුවාවේ දිසාපතිනිය වැනි ප්‍රසිද්ධ නම් ගම් ගැන අහල තිබුනත් නිවැරදි තොරතුරක් සොයා ගැනීම ඉතාම අපහසුයි. තිබුනත් ඒවා සාක්ෂි සහිතව ඔප්පු කිරීම තවත් අපහසුයි. මේ නිසා අද වෙනකොට අංගම්පොර කියන නම ඉතාම පහසුවෙන් විකුණාගෙන කන්න පුළුවන් වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. ජයන්ත චන්ද්‍රසිරි නමැති නිෂ්පාදකයා දඬුබස්නාමානය නාට්‍යය නිර්මාණය කිරීම සඳහා අංගම්පොර ගැන විස්තර සොයමින් රට වටා ඇවිද්ද බවත් එය පලක් නොවුන බවත් ඉතිහාසගත තොරතුරු හැරෙන්නට වර්තමානයේ අංගම්පොර දන්නා පුද්ගලයෙක් සොයාගන්නවත් නොලැබුන බවත් වරක ඔහු ප්‍රකාශ කර තිබුනා. මේ අනුව මට එන අදහස නම් ඉංග්‍රීසින් අතින් මේ සටන් කලාව කරන පුද්ගලයින් සහ සටන් ක්‍රම සම්පුර්ණයෙන්ම විනාශ වෙලා යන්න ඇති කියලයි.මෙම සටන් ක්‍රමයේ දරුණු බව සහ තර්ජනාත්මක බව සුද්දන් හොඳින් දන සිටියා වෙන්න ඇති.ඒ නිසා අංගම් පුරුදු කරන අය මරා දමන්නටත් කකුලෙන් පහලට වෙඩි තියන්නටත් අංගම් මඩු ගිනි තියන්නටත් පර සුද්ද අණ කරපු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉංග්‍රීසින් ගේ කාලයේ ඇති උන අංගම් තහනම ඉවත් උනේ 21 වන සියවසට ආවටත් පස්සේ. 

අද වෙනකොට නම් පඳුරකට පයින් ගැහුවත් පාරම්පරික අන්ගම්කරුවන් හතර පස් දෙනා විසි වන මට්ටමටම ඇවිත්. කොහේ බැලුවත් අත්ත මුත්තා කිත්ත කිරිකිත්ත කාලේ ඉඳන්ම අංගම් හටන් දන්නා බව කියන අය ඉන්නවා. ඒ වගේම අංගම් කලාවේ බොහොමයක් කොටස් නැති වෙලා ගිහින් තියෙනවා කියලත් දැනට ඉතුරු වෙලා තියෙන්නෙ බොහොම ටිකක් බවත් මේක රැකගෙන ඉදිරියටම කරගෙන යන්න ඕන බවත් ඔවුන් පවසනවා. ඒ කෙසේ වෙතත් මේ බොහොමයක් අංගම් ගුරුන් (හොරුන්) දශකයකට පමණ පෙර චීන අඩි උගන්වපු හෝ විවිධ ඉන්දියානු සටන් ක්‍රම පුහුණු වූ අය බව හැම දෙනාම දන්නා ප්‍රසිද්ධ රහසක්. දඬුබස්නාමානය නාට්‍යයට පස්සේ බිහි වූ මේ පාරම්පරික ගුරුවරුන් ඇත්තටම අංගම්පොර කලාවට ආදරය කරන පිරිසක්ද කියන එක ඕනෑම කෙනෙකුට හිතට එන ප්‍රශ්නයක්. 

සමහර විට ඇත්තම සටන් කලාව දන්නා පුද්ගලයිනුත් ඇති. නමුත් හොරුන් කවුද ඇත්ත කියන්නන් කවුද කියල හඳුනාගන්නවත් තරම් දැනුමක් අපිට නොමැති වීම අපේම අවාසනාවක් කියල කියන්න පුළුවන්.

(මෙහි නැති දේවල් තියෙනවනම් කොමෙන්ටුවක් පල කරන්න. දැනුම දියුණු කරගන්න ලැබෙන ඕනෑම උදව්වකට තුති. )



Thursday, June 11, 2015

කම්මැලිකම



මෙහෙම කම්මැලි කමක් හැබෑටම. අන්තිමට ලිපියක් දැම්මේ ගිය අවුරුද්දේ ඉල් මාසේ. ඊට පස්සේ තුන් වෙනි අවුරුද්ද සම්පුර්ණ උන එකට වත් මම මේ පැත්ත පළාතේ ආවේ නෑ. මගේ එකම නිදහසට කාරනාව උනේ අධ්‍යාපන කටයුතු කියන එක. එකට මුවා වෙලා මම කම්මැලි කමේ හිටියේ මෙච්චර කලක්. තව හේතුවකුත් තිබුන. එක තමා මම වින්ඩෝස් වල ඉඳන් උබුන්ටු වලට මාරු උනා. ඒකෙ සිංහල ටයිප් කරනවා කියන්නේ මොට්ට පොරවකින් ගස් කපනවා වගේ.  එපාම වෙන වැඩක්. ඉතින් දහ දොළොස් පාරක්ම මම ටිකක් ලියල අතැරලා දැම්ම. ඊට පස්සේ බ්ලොග් කියවන එකත් එහෙමම නතර උනා. ඉඳල හිටලා ඇවිල්ල ලිපියක් දෙකක් කියෙව්වා ඇරෙන්න වෙන වැඩක් කලේ නෑ. පුදුම කම්මැලි කමක් මේක නම්.

මේ ටිකේම අපේ විශ්ව විද්‍යාලයෙන් මාව දාල තියෙන්නෙ පුහුණුවීම් වලට.සමහර දවස් වලට මුළු දවසෙම නිකම් බලාගෙන ඉන්නවා. තවත් සමහර දවස් වලට දවසෙම වැඩ. අද වැඩි වැඩක් නැති එකේ මම නිකමට වගේ ආව මේ පැත්තට. මුලින්ම දැක්කේ සිරා ගේ කාමරේ තුන් අවරුදු උපන්දිනේ. මට හිතුනා නියම දවසක තමයි මම ආපහු ආවේ කියල. ඊළගට කියෙව්වා විචාරකගේ භාෂාව පිලිබඳ දාල තිබුන ලිපිය. ඊළඟට මම කල්පනා කළා ඇයි මට මේක ලියන්න වෙලාවක් නැත්තේ කියල. උවමනාව තියනවනම් මට උවමනා තරම වෙලාව හදාගන්න පුළුවන් කියල මටම තේරුනා. ඔන්න ඉතින් අවසානෙට කාර්යාලේ ඉඳන් මාස ගානකට පස්සේ ඔන්න මේක ලියනවා. කව්රු බලයිද දන්නේ නෑ. ඒ උනාට මොකද ඉතින් ආපහු මේක ලියන්න පටන් ගන්නවා කියන්නෙම ලොකු දෙයක්නේ. පටන් ගන්න තමයි අපහසුම. 

බලමු ඉදිරියටත් පුළුවන් පුළුවන් හැටියට ලිපි ටිකක් දාන්න. අංගම්පොර ගැන මේ දවස් වල ටිකක් උනන්දුවක් ඇති වෙලා තියෙනවා සමහර විට ඊළඟට ලියන්නේ එක ගැන වෙන්නත් පුළුවන්. සමහර විට අලුත්ම දෙයක් ගැන වෙන්නත් පුළුවන්. ඔන්න එහෙනම් ආයිත් ඇපල් ආව ලාබෙට ඇපල් බෙදන්න.