Wednesday, October 28, 2015

මොකටද අපි බ්ලොග් ලියන්නේ....??

මට හිටි ගමන් ඔලුවට ආපු අදහසක් මේක. මේ වගේ ඒවා ඔලුවට එනවා කම්මැලිකමේ හිනිපෙත්තට නැගල තව ටිකක් උඩට නැග්ගහම . වස කම්මැලිකමේ මෙලෝ දෙයක් කරන්න හිත නොදුන් වෙලාවක දැන් වැරදිලා වගේ ලියන මගේ බ්ලොග් කට්ට පැත්තේ එන්න හිතුන. වැඩ ගොඩක් ඇති කමකට නෙමෙයි දැන් නම් මේක නොලිය ඉන්නේ. කම්මැලි හින්ද. ආයිත් බොරු කියන්න ඕනයැ . හද්ද කම්මැලිකමේ මේ දවස් ටික ගෙවෙන්නේ. කොරපු training එකේ රිපෝට් එක ලියන්නත් තියෙනවා. තවම ඒකෙන් බාගයයි ලියල තියෙන්නෙ. මේ සතියේ නම් කොහොම හරි ඒක ඉවර කරන්න ඕන. 

දැන් අපි එමුකො මාතෘකාවට. අපි එක එක දේවල් කරනවා විවිධ අරමුණු හිතේ තියාගෙන. මේ බ්ලොග් ලිවිල්ලත් ඒ වගේම වැඩක්නේ. ඉතින් මම කල්පනා සාගරේ ගිලිලා ඉන්නකොට  කල්පනා උනා මේක. මොකටද අපි බ්ලොග් ලියන්නේ හැබෑටම? සමහරු කැමතියි කට්ටියට ආතල් දෙන්න. එහෙම පටන් ගත්ත ඒවා ටිකක් තිබුන දැන් ඒවා මම දන්නා හැටියට නතර කරලා. අලුත් ඒවා තියනවද නම් දන්නෙ නෑ. පරණ තිබ්බ දෙක තුනක් නම් දැන් නෑ කියල දන්නවා. 

තවත් සමහර අය මේක ලියන්නේ ඇත්තටම දැනුම බෙදා දෙන අදහසින්. මගේ ඔලුවට එන පලවෙනි බ්ලොග්කරු තමයි විචාරක. එතුමා දැන් ඉතින් විශ්‍රාම අරගෙන හැරමිටිය අරන් වෙවුල වෙවුල යන කාලෙනේ. ඉතින් පරණ දේවල් මතක් කරලා බ්ලොගේ ලියනවා. මම හරිම ආසාවෙන් කියවන බ්ලොග් එකක් තමයි අසමි දකිමි සොයමි කියන එක. තවත් මේ වගේ අදහසකින් කරන කිහිප දෙනෙක්ම ඉන්නවා. සයුරි අක්කගේ පහන් යාය බ්ලොග් පිටුව. මේකේ ගොඩක් වෙලාවට අපේ ඉතිහාසේ ගැන ගොඩක් දේවල් ලියවෙනවා. 

මෙහෙම ලියනවනම් තව පිටු ගානක්ම ලියන්න පුළුවන්. ඒ හින්ද මම ඒවා ගැන ලියන්නේ නෑ. දැන් ඇපල් වස කම්මැලියෙක් වෙලා. ඒ හින්ද සමා වන සේක්වා........! මම නම් මේ බ්ලොග් පිටුව පටන් ගත්තේ අලුත් යාලුවන්ව හම්බ වෙන්න. ඇත්තටම කියනවනම් මට මේක හරහා යහළුවන් ගොඩ දෙනෙක් හම්බ උනා. එක්කෙනෙක් දෙන්නෙක් හැරෙන්න තවමත් මම මේ කිසිම කෙනෙක් හැබැහින් දැකල නම් නැහැ. ඒ උනත් ඒ ඇති උන මිතුදම් තවමත් බොහොම තදයි. ඒ වගේම තමයි මට උවමනා උනා මම හිතන දේවල් ගැන අනික් අය මොන වගේ ඒවාද කියන්නෙ බලන්න. ගොඩක් වෙලාවට මම ලියන්නේ මගේ හිතට එන අදහස්. ඒවා හරිද වැරදිද කියලා බලන්නේ නැහැ ලියල දානවා. ඒවට දෙන අදහස් මම බොහොම කැමැත්තෙන් පිළිගන්නේ. 

මේ බ්ලොගේ බලන අයත් මේ ගැන දරන අදහස කියනවද? ඇත්තටම මේ ගැන මට දැනගන්න ඕන. සමහරු ටික කාලයක් ලියල නවත්තනවා අනික් එව්වන්ට අපි මොකටද නිකන් ආතල් දෙන්නේ කියල. නමුත් මේක එහෙමම කියන එකත් අසාධාරණයි. ඒ හින්ද ඔබලත් මේ ගැන මොනවද හිතෙන්නෙ කියන එක පහලින් කොටලා යනවා නම් මම බොහොම සතුටුයි. 




6 comments:

  1. //ඒ හින්ද ඔබලත් මේ ගැන මොනවද හිතෙන්නෙ කියන එක පහලින් කොටලා යනවා නම් මම බොහොම සතුටුයි//

    මම එහෙනම් එබුවට පස්සේ ආයෙත් මේ ලිපියට ඇවිත් කමෙන්ට් එකක් දාන්නම් එබුවට පස්සේ මොකද හිතෙන්නේ කියලා . ගොඩක් අය කියන්නේ නම් එබුවට පස්සේ ඉතින් ලොකු වෙනසක් නෑ කියලා . බලමුකෝ . @-) @-) @-) @-) @-) @-) @-)

    ReplyDelete
    Replies
    1. ඔබන්නේ අහවල් එකද බොලන්.... :-w අපි නම් ඕව ගැන දන්නෙ නෑ තවම පොඩි ළමයි. හ්ම්ම්... [-(

      Delete
  2. හෙහ් හෙහ්, හැරමිටිය විතරක් නෙවේ බොල තවත් එව්වා වෙවුලනවා මෙව්වා දැක්කම.

    කම්මැලිකම මටත් එනවා හිටපුගමන්. ලියන්න අරන් අතෑරලා දාපු මාතෘකා ගොඩක් තියනවා. සමහර වෙලාවට ඒවට වාක්‍යයක් දෙකක් ලියලා සේව් කරලා ඔහෙ පල්වෙන්න අරිනවා. මම හිතන්නේ බ්ලොග් ලියන ඔක්කොටම ඔය ලෙඩේ අඩුවැඩි වශයෙන් තියනවා. ඒ වුනාට අතාරින්න එපා. ඔන්නොහෙ ලියමු මොනවහරි.

    ReplyDelete
    Replies
    1. මට නම් මේ ලෙඩේ දරුණුවටම තියෙනවා විචාරකතුමෝ.

      Delete
  3. අපේ හිතේ බුර බුරා නගින අදහස්, දැනුම බෙදා ගන්න, අත්දැකීම් බෙදා ගන්න, අපි දැක්ක දෙයක් අනිත් අයත් සමග බෙදා ගන්න මේක කදිම තැනක්. එයට අමතරව මේ හරහා නැගුණු මිතුදම ඉතා වටිනවා. හතුරොත් නැතුවම නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. හතුරෝ ගැන මතක් උනෙම නෑ හැබෑට. කතාව ඇත්ත.

      Delete