Thursday, November 19, 2015

අපේ දියුණුවක් නැත්තෙ ඇයි ?




ලංකාවේ මිනිස්සුන්ට ඇයි දියුණු වෙන්න බැරි? මට අද හදිස්සියේම ඔලුවට ආපු පුරස්නයක් තමා මේක. මේ රටේ මිනිස්සුන්ට කරන්න පුළුවන් වැඩකුත් නෑ බැරි වැඩකුත් නෑ බලාගෙන ගියාම. කරන්න බැරි දෙයක් නැහැ කියන්නෙ මේකයි. ලංකාවෙ කොයි පැත්තකට ගියත් අපිට දකින්න හම්බ වෙනවා අපේ ආදී මුතුන් මිත්තෝ කරපු මහා පරිමාන පුදුම හිතෙන අලංකාර ප්‍රෞඩත්වය ඇති කරවන යනාදී වශයෙන් විස්තර කරන්න පුළුවන් වැඩ කන්දරාව. කන්දක් නැග්ගොත් ඔකේ කොහේ හරි පන්සලක් තියෙනවා ගල් කණු වලින් සක්තිමත් කරපු. ගුහාවකට ගියොත් රුව විස්තර කරන්න බැරි තරම් අලංකාර චිත්‍ර තියෙනවා. කන්ද බැහැල තන්නකට ගියොත් මහා මුහුද වගේ ලොකු වැව් තියෙනවා. මේ රට මහා අරුම පුදුම වැඩ කරපු රටක්. 

මොනවත් බැහැයි කියන්න හේතුව ඉතිං කාටවත් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නැතිව ඇතිනේ. මේ දවස් වල වෙන දේවල් ගැන ඇහුවම දැක්කම මේ මොන අපත රටක්ද කියල හිතෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්නි ටික පච හල හල බොරුවට එක එකා එක්ක මරා ගන්නවා. තමන්ගේ පක්ෂෙ කැඩෙන්න දෙන්නෙ නෑ අපි එක ආරක්ෂා කරනවා කියල පුරසාරම් දොඩවනවා. මුන් ඔක්කොටම අමතක වෙලා මුන් මොකටද ඔය පක්ෂයක් කියන එකක් හැදුවේ කියල. ඕක හැදුවේ මම දන්නා තරමින් රටේ ඉන්න මිනිස්සුන්ට ඔක්කොටම එකට කතා කරන්න බැරි හින්ද උන් වෙනුවෙන් යමක් කරගන්න තෝරගත්ත කට්ටියක් එකට එකතු කරගන්න. අනිත් හැම දෙයක්ම කරද්දී අපි ඒකෙ තත්වය හොඳද කියල බලනවා. හිතන්න ටීවී එකක් ගන්න ගිය ගියාල? මුලින්ම දැකපු එක අරන් එන්නෙ නැහැනේ. හොද වර්ගයක් බලල තමයි අරන් එන්නෙ වටේ ගෙවල් වලටත් පෙන්න. වාහනයක් ගත්තත් එහෙමයි. වැඩි එකක් ඕන නෑ ගෙදරට නෝනා මහත්තයෙක් ගෙනාවත් එහෙමනේ.... එච්චර හොඳට හොයල බලල ඔක්කොම කරන අපිම අපිව පාලනය කරන්න කෙනෙක් තෝරනකොට ඕව මොනවත් බලන්නෙ නැතුව ඉන්න ලොකුම කාලකන්නියව යවනවා ලොකුම තැනට. ඊට පස්සේ ඌ ගොන් වැඩ කරනකොට ඌට බනිනවා හත්මුතු පරම්පරාවම මතක් වෙන්න. අනේ අපි වගේ මිනිස්සු ටිකක් හැබෑට. 

අද ඕක කල්පනා උනේ මෙන්න මේ සිද්දිය හින්දයි. උදේ ඉව්වෙත් නැති හින්ද මම අද පුළුවන් තරම් ඉක්මනට ලැහැස්ති වෙලා ගියා වැඩට. කැම්පස් එකේම තමා මේ ටිකේ වැඩ. අපි ඉතිං ට්‍රේනීස් ල කියල තම කියන්නෙ. 8:20 වෙනකොට ගිය කියමුකෝ...අත්සන් කරන තැනට යනකොට 8:25යි. මෙන්න බොලේ යනකොට එක බූතියෙක් 8:30 දාල අත්සන් කරලා.......තවම 8:25 යි. මට යකා නැග්ග. ඇයි බොලේ හරි අමාරුවෙන් වාසනාවට තදබදේට අහු වෙන්නේ නැතුව යන්තම් ඉක්මනට ආපු දවසෙත් හරියට වෙලාව දාන්න විදියක් නැති හැටි. කමක් නෑ කියමුකෝ ඒක. 4:15 ට තමයි කට්ටියට වැඩ ඇරෙන්නෙ. අන්න බලන්න එපැයි ඒ වෙලාවට තියෙන හදිස්සිය. 4 වෙනකොට ඔක්කොම ටික අකුලාගෙන අත්සන් කරන තැන පිරිලා පෝලිමට ඉන්නවා කට්ටිය. කීයට ආවත් උදේ 8:30 හවස 4:15. මගෙ යාළුවා කියපු කතාවට මට හිනාත් ගියා. 

" මචන් ජපානෙන් එකෙක් ආවොත් එහෙම ඌ හිතයි මේකෙ ඉන්න උන් ඔක්කොම ගානට ප්‍රෝග්‍රෑම් කරලා කියල වෙලාවට වැඩ කරන්න. " 

Wednesday, November 11, 2015

අවුරුදු හතරක්ම උනා එහෙනම් - ලාබයි ඇපල් ගේ උපන් දිනය



මදැයි එහෙනම්. දැන් හතර අවුරුද්දකුත් ලබනවා. මෙච්චර කල් ගියා කියල දැනුනෙවත් නෑ. ගතවුණ කාලයේ සුමිහිරි මතක සටහන් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. මේ ආපු ගමනෙ හමු උන අයත් දිරි දුන්න අයත් ඕන තරම්. ඒ වගේම කම්මැලි වෙලාවට බැනල දිගටම ලියපන් කියපු අයත් ඉන්නවා. මේ වෙලාවේ මම ඒ හැමෝම අයට මගේ හද පිරි තුති පුද කරනවා. ගිය පාර ලිපියේ ලිව්වා වගේ මම මේ බ්ලොග් ලිවිල්ල පටන් ගත්තේ මම හිතන දේවල් වලට අනික් අය මොනවද කියන්නෙ බලන්නත් හොඳ මිතුරන් රැසක් හොයාගන්නත් කියන අදහස ඇතුව. නමුත් ටික කලක් යනකොට මට තේරුනා මට ඉගෙන ගන්න බොහෝ දේවල් මෙන්ම අනිත් අයවත් දිරිමත් කරන්න පුළුවන් කියල. 

ගිය අවුරුද්දේ මේ වෙනකොට මම බ්ලොග් ලිවිල්ල අතැරලා දාල තමා තිබුනේ. මතක හැටියට 3 වෙනි අව්රුද්ද සපුරපු දවසේ මම ලිපියක් පල කළේවත් නැහැ. ඒ අනුව බලනකොට අද මම හොඳයි කියල හිතෙනවා. කාලය ගතවෙද්දී සෑහෙන්න කාර්යබහුල උනත් හැකි සාම වෙලාවකම මම හැම තැනම තියෙන බ්ලොග් කියවන්නත් අදහස් පල කරන්නත් අදහස් කරගෙන ඉන්නවා. 

උපන් දිනයක් කියන්නෙ මට නම් බොහොම වැදගත් දවසක්. කාල බීල පාටි දන්නා නෙමෙයි. ගතවුණ අවුරුද්ද ගැන හිතල කල දේවල් මතක් කරලා ඉස්සහරහට කරන්න ඕන දේවල් සැලසුම් කරගන්න තියෙන හොඳම දවස තම උපන් දිනය කියන්නෙ . මට නම් එහෙමයි. අනික් අයට කොහමද දන්නෙ නම් නැහැ ඉතිං. 

 2011 අද වගේ දවසක , ඒ කියන්නෙ 11.11.11 දවසේ මම පලවෙනි ලිපිය ලිව්වා පලවෙනි පොස්ට් එක  කියල.  මේකට පලවෙනි කොමෙන්ටුව දාපු මගේ මිත්‍රය තමයි මට බ්ලොග් එකක් කියල දෙයක් තියෙනවා කියල මුලින්ම කිව්වේ. ඒ හින්ද ඔහුට මම මගේ ස්තුතිය පල කරන්නම ඕන . ඒ වගේම මුලින්ම මා කියවූ බ්ලොගය - මගේ ලෝකය දැන් ලියන්නෙ නැති උනාට ඒ ලියපු කතුවරයාටත් මා තුති පුදනවා. එතෙක් මෙතෙක් කල් මා සමග හිටපු සියලු දෙනාටත් බොහොම ස්තුතියි. 

එහෙනම් මට සුබ උපන් දිනයක් වේවා.......!!!