Wednesday, October 21, 2020

කොරෝනා සමග ඇපල් ගේ නැවත ආගමනය


 

අවුරුදු පහකට පස්සේ ආයිත් බ්ලොග් එක පැත්තෙ ඇවිත් මොනවා හරි දාන්න හිතුන . කාලෙකින් කාගෙවත් බ්ලොග් එකක් බැලුවෙ නැති එකේ කම්මැලිකම යන්නත් එක්ක නිදහස් වෙලාවක මේකත් ආපහු පටන් ගත්ත නම් හොඳයි නේද කියල අද උදේ කොන්දට දාපු තෙල් පත්තුවේ පැය 3 මුනින් අතට ඉන්න ගමන් කල්පනා උනා . මොනවා උනත් ඉස්සර ආසාවෙන් කරපු දේ පහු වෙනකොට විවිධ කාර්‍යයන් හින්ද මග හැරුණත් කවද හරි නැවත පටන් ගන්න ඕන කියන අදහස නම් හිතේ කොනක තිබුන. අවසන් පොස්ටුව ලිව්වට පස්සේ ජිවිතේ සිදුවුන මහා වෙනස්කම් අතර මේ ආරම්භයත් හොඳ වෙනසක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. ලබන අවුරුද්දට බ්ලොගය පටන් අරන් අවුරුදු 10ක් වෙනවා. අවුරුදු 4ක් විතර ලිපි ලියල අත් හැරලා දාපු මේ ඇපල් කරත්තය ආපහු තල්ලු කරගෙන යන්න හිතුන එකත් වටිනවා කියල මට හිතෙනවා. ඒ දිනවල ලියූ දේ හා සසඳන විට අද වෙනකොට යම් වෘද්ධත්වයකින් ලිපි ලියන්න හැකි වේවි කියල හැඟීමක් හිත කොනක තිබුනත් මොනවා වෙවිද කියන්න අනාවැකි කීමට නොහැකි නිසා කරගෙන ගිහින්ම බලන්න තමා වෙන්නෙ 


කොරෝනා වසංගතයත් එක්ක වෙනස් උන ජීවන රටාව එක්තරා ආකාරයක වෙස්වලාගත් ආශිර්වාදයක් දෝ කියලත් හිතෙනවා. මිනිස්සු තමන්ට පුළුවන් විදියට ගෙවත්තෙ හරි ඉඩම් වල හරි ගෙවල් වල උඩ තට්ටුවේ හරි වවන්න පටන් ගත්ත . ඇපලුත් වවන්න ගත්ත නිකම් ඉන්න ගමන් අඳුනන මලයෙක්ගේ ඉඩමක් අරන් එකට එකතු වෙලා. ඒ දවස් වල හේන් කරන්නෙ කොහොමද කියලවත් නොදැන කැලේ එලි කරල සුද්ද කරල ඉනි හොයාගෙන ඉනි වැටවල් ගහල කාණු කපල පාත්ති දාල ටිකක පැලත් හිටෝලා ඉවර වෙනකොට කකුලට විසබීජයක් ගිහින් ඉස්පිරිතාලෙත් නතර වෙලා හිටිය . යන්තම් ටිකක් පලදාවත් ගත්ත. ඒ ඔක්කොම කලාට පස්සෙ තමා දැන ගත්තේ හරියට හිටවන විදිය සහ හේනක් කොටන විදිය. ඊට පස්සේ අපේ පරණ මිනිස්සුන්ගේ ළඟ තියෙන දේශීය දැනුම හොයන්න සහ ඒවා ඇත්තද කියල හරියටම පරීක්ෂණ කරල බලන්න පටන් ගත්ත. මේ ඔක්කොම කරන්න පුළුවන් උනේ කොරෝනා අපු නිසා ලැබුන නිදහසත් එක්ක. අතේ සල්ලි නැති උනත් මේ වැඩ නිසා හිතේ සතුට ලැබුන හින්ද හිතුන හැම කළු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියන කතාව මේ වෙලාවෙ කොච්චර නම් ගැලපෙනවද කියල. 


ඉස්සරහට අදහසක් තියෙනවා රටේ තියෙන දේශීය දැනුම එකතු කරල කට්ටියට බෙදල දෙන්න. මේ බෙදන අතරේ අද පරම්පරාවට ගැලපෙන විදියට මේවා විද්‍යාත්මකව ඔප්පු කරල සාක්ෂි සහිතව දෙන්න හැකි තාක් උත්සාහ කරන්න ඕනි. කාලය ලැබෙන විදියට තමයි ඉතින් මේවා ඔක්කොම කරන්න වෙන්නෙ. 


එහෙනම් ඇපල් කරත්තයත් අරන් මම ගියා ඕං...... ආයුබෝ වේවා....!!! 



No comments:

Post a Comment