Monday, September 9, 2013

මසුරන් උල්පත - කසිප්පු



2013 ජුලි 21 ඉරිදා මවුබිම පත්තරේ තියන ලිපියක් ඇසුරෙන් තමයි මේක ලියන්න හිතුනේ. අනු එදිරිසිංහ තමයි ලිපිය ලියල තිබුනෙ. මේක කියෙව්වම මට මේක අත්හදා බලන්නම හිතුනා. කෝකටත් තව ඩිංගක් හිතල බලන්නත් ඕන.මාතෘකාවදැක්කම කට්ටිය හිතනවා ඇති ඇත්ත තමයි කියල. මොකද මේ කාලේ දේශීය දේවල් හරියට අගය කරනවනේ.රටින් ගේන ඒවාට වඩා , ලංකාවේ ඒක ඒක ජාතියේ ලි වලින් කරපු බැරල් වල දාල හදන ඒවාට වඩා මේවා සැර බව දන්නෝ දනිති ඉතින්. (මම නම් ඕව දන්නේ නෑ ඕං ) . ගණනුත් අඩුයිනේ. ඉතින් ඒකෙ වැරැද්ද මොකක්ද. නෙහ්....?

මදැයි ඒ ගැන කතාව.නැත්තම් තව ටිකක් වෙලා යනකොට පොලිසියෙන් ඇවිත් මාව අරගෙන යයි කසිප්පු පෙරුවා කියල.  දේශීය වෛද්‍ය වොෂින්ටන් නානායක්කාර මහත්තයා ගේ අදහසට අනුව නම් කසිප්පු කියන්නෙ ඉතාමත් හොඳ , උසස් තත්වයේ ඉන්ධනයක් . මේ ඉන්ධන වල එක එක පරම්පරා තියනවා. ඒවායින් පළමුවන පරම්පරාවේ ඉන්ධනයක් තමයි කසිප්පු කියන්නෙ. කසිප්පු කීවට අපේ කස්ටිය බීල වැනි වැනි යන ඒවම නෙමෙයි . ඊට වඩා ටිකක් පිරිපහදු කරපු එක. කසිප්පු නිෂ්පාදනය කරන්නෙ සීනි හෝ පලතුරු යුෂ වලට යීස්ට් කලවම් කරලා. මේ ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය වෙන්නෙ ඇල්කොහොල් සහ කාබන් ඩයොක්සයිඩ්. මේ ඇල්කොහොල් වතුරත් එක්ක දියවෙලා තියෙන්නෙ. මේක පෙරලා ගන්න ඒක තමයි කසිප්පු කියන්නෙ. මේකේ වැඩියෙන්ම අඩංගු වෙන්නෙ එතිල් ඇල්කොහොල් , එහෙමත් නැත්නම් එතනෝල්. මේ තියෙන්නෙ ඒක තමයි.


රසායන විද්‍යාව කරන අය නම් මේක දැක්ක ගමන් අඳුනගනී . කොහොමහරි කසිප්පු වල තියන වතුර ටික අයින් කරගන්න පුළුවන් නම් වැඩේ ගොඩ. (කොහොමත් කසිප්පු වල සාමාන්‍යයෙන් 55 % - 56 % විතර එතනෝල් තියනවා මට මතක හැටියට.වැරද්දක් තියනවනම් නිවැරදි කරන්ඩෝ..) ඔය ගමේ ගොඩේ හිටි ගමන් පොලිසියෙන් පැනලා අල්ලන කසිප්පු ටික ඉන්ධනයක් කියල අපේ අයියල දන්නව නම් ....වැඩක් නෑ ඒත් බොයි ගුඩු ගුඩු ගාල .

එතනෝල් කියන මේ ඉන්ධනය පෙට්‍රෝලියම් එක්ක කලවම් කරලත් පාවිච්චි කරන්න පුළුවන්. දැනටත් ලෝකේ සමහර රටවල් වල මේක පාවිච්චි කරනවා ඉන්ධනයක් විදියට.ඉස්සරම වාහන හදල තියෙන්නෙ එළවලු තෙල් වලින් දුවන්න. (වෙලාවට දැන් එහෙම නැත්තේ. නැත්තම් කාන්තාවන්ගෙන් තමයි පලවෙනි විරෝධය එල්ල වෙන්නෙ ) .ඒ කාලේ හෙන්රි ෆෝඩ් හදපු වාහනෙත් ඇල්කොහොල් වලින් තමයි දුවල තියෙන්නෙ. මරු නේද ? දැනට තියන කාර් වලට සහ ඕන වාහනේකට මේවා පාවිච්චි කරන්න පුළුවන්. 
(වැඩි විස්තර මෙතනින් බලන්න. )

දැනට ලෝකේ භාවිත කරන්නෙ පොසිල ඉන්ධන.ඒ කියන්නෙ අවරුදු මිලියන ගානක් තිස්සේ සත්ව ශේෂයන් සහ තවත් ශාක යනාදිය අධික පීඩනයක් සහ යම් උෂ්ණත්ව යටතේ තමයි හැදිල තියෙන්නෙ. දැනට අපි පාවිච්චි කරන්නෙ මෙහෙම සැහෙන කාලයක් තිස්සේ හැදුනු ඒවා. යන විදියට මේ ඉන්ධන අවරුදු පනහක් වත් පවතින එකක් නෑ . ඊට පස්සෙ කොහොමත් ඒවාට විකල්ප හොයන්න වෙනවා. අනික පොසිල ඉන්ධන වලින් සිද්ධ වෙන පාරිසරික හානිය ඉතාමත් ඉහලයි. පෙට්‍රෝලියම් භාවිත කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් ස්වභාවධර්මය කොච්ච්චාර නම් විනාස වෙලා ඇද්ද

අපිට පුළුවන් නම් මේ කසිප්පු මත්ද්‍රව්‍යයක් විදියට භාවිත කරන්නෙ නැතුව මේ විදියට පාවිච්චි කරන්න , කොච්චර නම් දියුණුවක් ලබාගන්න පුලුවන්ද. මේ විදියට ඉන්ධන හදන්න ඉවතලන බත් පවා ප්‍රයෝජනයට ගන්න පුළුවන් . ඉවතලන පළතුරු , සිනි හදල ඉතුරු වෙන උක්ගස් වල රොඩ්ඩ මේ හැම එකකින්ම අපිට එතනෝල් හදන්න පුළුවන්. මේ හදන ඒවා පිරවුම් මධ්‍යස්ථාන වලට යවන්නත් පුළුවන්. කොච්චර උනත් මේක බඩේ ඉන්න පණුවන්ට ඉන්ධනයක් විදියට දෙන අයත් ඉන්න හින්ද එහෙම කරන්න බැරිවෙන්න මොනවා හරි කලවම් කරන්න වෙනවාමයි. නැත්තම් අපේ අයියලාගෙන් බේරගන්න විදියක් නැතිවෙයි
. පිටරටට ඇදිල යන මහා ධනස්කන්ධයක් මේකෙන් ඉතුරු කරගන්න පුළුවන් .අනික පරිසරයටත් හිතකරයි. වාහනයටත් හිතකරයි. 

ඔන්න ඔහොමයි දරුවනේ කසිප්පු මසුරන් හා සමාන වෙන්නේ...