Saturday, February 23, 2013

හැඳි නොගා හොද්ද හැදීම

වේවැල් කෝටු නාරං සියඹලා                       අතු
කිතුල් පොල් ඉරටු වැල් කහඹිලිය                 අතු 
මෙවැනි ඉපල් මගේ දෑසට නොපෑ                 යුතු 
පමා නොවී යමි අකුරට මෙයින්                     මතූ 

ඔන්න ඔහොමයි ඉස්සර කාලේ කිව්වේ. දැන් නම් ඉතින් මේවා කොහොමත් දකින්න නැහැනේ. ටවුන් වල කොහෙද කහඹිලිය අතු.  දැන් ඉන්න ළමයි ඕව දැකලවත් නැතුව ඇති. එක අතකට දකින්නෙ නැතුව ඉන්න එකත් හොඳයි කියලත් හිතෙනවා. මේ කවිය මතක්උන වෙලාවේ මට කල්පනාවට ආවේ ඇත්තටම අද ළමයින්ට මේ කවිය ගැලපෙනවද කියල. 

මම පොඩි කාලේ නම් ඇති වෙන්න තාත්තාගෙන් ගුටි කාල තියෙනවා. ගොඩක් වෙලාවට වේවැලෙන් හරි පේර කෝටුවකින් හරි තමයි පාර වදින්නෙ. වේවැලට වඩා පේර කෝටුව මාරම සැරයි. වැවිරි හිටින්න වදිනවා. ඒ වෙලාවට කොහේ හරි හැංගිලා ඉඳගෙන අඬන එක තමයි රාජකාරිය. ඇඟේ රිදිල්ල නැති උනාට හිතේ රිදිල්ල නැති වෙන්නේ නැහැනේ.

දැන් කාලේ ලමෙකුට කෝටු පාරක් දුන්නොත් ළමයින්ගේ දෙමාපියන් ඇවිල්ල ගුරුවරයාට සැර දාල , ස්ථාන මාරුවකුත් සෙට් කරලා නඩුත් දානවා . නමුත් ඒ කාලෙ එහෙම උනේ නැහැ. ඒ කාලේ දෙමාපියෝ දැනගෙන හිටිය ගුරුවරයෙක් පාරක් ගහන්නෙ තරහකට නෙමෙයි දරුව යහමගට යොමු කරන්න කියල. ඒකට දැන්..

මමත් දහම් පාසලක උගන්නනවනේ. මම නම් වැරදි කලාම කෝටු පාර දෙනවා.ඒත් ළමයි මා එක්ක තරහත් නැහැ.ඒ මොකද මම ළමයි එක්ක නිතර විහිලු තහළු කරල යාලුවෙක් වගේ ඉන්න හින්ද. ගොඩක් වෙලාවට කව්රුහරි ළමෙක් දඟ කළා නම් පතියේ අනික් ළමයින්ට කියනවා දඬුවමක් තීරණය කරන්න කියල .ඒක හරි ජොලි වැඩක් හැමෝටම. ඉතින් හිතේ තරහකුත් නෑ ආයිත් කරදරෙකුත් නෑ. මොකෝ වස ලැජ්ජාවනෙ .

ඉස්සර නම් කියන්නෙ හැඳි නොගා හදන හොද්දත් එකයි නොගහ හදන දරුවත් එකයි කියල. මේක අදට ගැලපෙනවද?

Tuesday, February 19, 2013

විවෘතය විකිනීමට තිබේ......

(උපුටා ගැනීමකි.)

ආදරණිය සහෝදරයා / සහෝදරිය ,

ඔබ විශ්වවිද්‍යාලයට පය ගසන මේ මොහොත වන විට ඔබ පාඩම් කිරීමට භාවිතා කල ස්ථාන (Bench) විශ්වවිද්‍යාල පරිපාලනය විසින් අත්තනෝමතික ලෙස කඩා ඉවත්කර අවසන්ය. ඔබ හෝ ඔබේ සහෝදර සහෝදරියන් ලෑලි bench අටවාගත්තේ , පාඩම් කිරීම සඳහා ප්‍රමාණවත් ස්ථාන නොමැතිකම නිසා නොවේද? ඒවායින් විශ්වවිද්‍යාලයට සිදුවූ හානිය කුමක්ද ? ඒවායින් විශ්වවිද්‍යාලයේ උද්‍යාන අලංකරණයට තිබු බාධාව කුමක්ද? පරිපාලනය මේ අරඅඳින්නේ කුමකටද?

විශ්වවිද්‍යාල පරිපාලනයට අනුව විවෘතය හුදු දුරස්ථ අධ්‍යාපනයක් පවතින විශ්වවිද්යාලයකි. (ඉස්කෝලයකි) . රැඳී සිට අධ්‍යන කටයුතු කිරීමට අවශ්‍ය නැත. එසේ රැඳී සිටින්නේ නිවෙස් වල වැඩක් පලක් නැති රස්තියාදුවේ යන කාලකන්නි පිරිසකි. ඔවුන් පවසන අන්දමට bench  ඉවත් කලේ අයාලේ යන කාලකන්නින් විශ්වවිද්‍යාලය  තුල රැඳී සිටීම නවත්විමටය. ඔබ මෙය භාර ගන්නවාද? නොඑසේ නම් මේ තුල ඇති යටි අරමුණු සොයා බැලිය යුතු නොවේද?

සෑම පුරවැසියෙකුටම පළමු උපාධිය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබාදිය යුතුය යන්න රටේ නීතියයි. කෙටියෙන් පවසතොත් අපේ රටේනිදහස් අධ්‍යාපනය යනු එයයි. නමුත් 1977 සිට මේ දක්වා, දුප්පතුන් අධ්‍යාපනයෙන් පිටමන් කිරීම සඳහා වන සැලැස්ම බලධරයන් විසින් ක්‍රියාත්මක කරමින්පවතී. එනම් අධ්‍යාපනය විකිණිය හැකි භාණ්ඩයක් බවට පරිවර්තනය කිරීම ඔවුන්ගේ එදා මෙදා තුර අරමුණයි. 1982 අධ්‍යාපන ධවල පත්‍රිකාවේ සිට මේ දක්වා අධ්‍යාපනය විකිණීම සඳහා පාලකයන් නොගත් උත්සාහයක් නැති තරම්ය. නමුත් මේ වනතුරු අපේ රටේ , නමට හෝ නිදහස් අධ්‍යාපනය රැකුණේ දහස් ගණන් වූ සිසුන්ගේ ලේ , කඳුළු, දහදිය මතිනි. ජිවිත පරිත්‍යාගයෙනි.

එස් බි දිසානායක ඇමතිවරයා " කවුරු විරුද්ධ උනත් පෞද්ගලික විශ්වවිද්‍යාල පනත සම්මත කරනවා " යැයි බුර බුරා කියා සිටින්නේද , පෞද්ගලික විශ්වවිද්‍යාල කරලියට එන්නේද , පාසල් අධ්‍යාපනය විකිණීම සඳහා පිඹුරුපත් සකසෙන්නේද ඉහත හේතුව නිසාවෙනි. ගිය වසරේ දල දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කල 1.7 % ක් වූ සොච්චමද මේ වසරේදී 1.4% දක්වා පහත හෙලන්නේද මේ හේතුව නිසාවෙනි. නමුත් මේ සඳහා ඔවුන්ට ශිෂ්‍ය ව්‍යාපාරය විශාල බාධකයක් වි තිබේ. ජනක , සිසිත ඇතුළු තවත් සිසුන් ඝාතනය කරන්නේද , කැලණිය , රුහුණු විශ්වවිද්‍යාල වල සිසු නායකයින්ට මර ප්‍රහාර එල්ල කරන්නේද , ජපුරේ , විවෘතයේ සිසුන් පන්ති තහනමට ලක් කරන්නේද ඒ බාධකය ඉවත් කිරීම සඳහාය. එනම් රටේ වැඩිමනක් වූ දුක්විඳින දෙමාපියන්ගේ දරුවන් අධ්‍යාපනයෙන් පිටමන් කිරීම සඳහාය. කෙටියෙන් පවසතොත් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීම සඳහාය. 

නිදහස් අධ්‍යාපනය නීතිය වුවද සාමාන්‍ය පෙළ හා උසස් පෙළ කඩඉම්වලදී විශාල සිසුන් ප්‍රමාණයකට අධ්‍යාපනයෙන් ඉවත් වීමට සිදුවී තිබේ. ඒ අපේ රටේ සිසුන්ට ප්‍රමාණවත් විශ්වවිද්‍යාල පහසුකම් නොමතිකමින්ය. මේ තත්වය සඟවාලීමට පාලකයන්ට ඇති එකම මග විවෘතයි. එනම් " විශ්වවිද්‍යාලය තුලදී සෑම සිසුවෙකුටම සුළු මුදලක් ගෙවා උපාධිය දක්වආධ්යාපනය ලැබිය හැකිය " යන්න ඔවුන්ගේ තර්කයයි. සැමට නිදහස් අධ්‍යාපනය ඉල්ලා කල අරගල මැඩලීම සඳහා පාලකයින් මතිරු මන්තරයයි. එසේත් නැතිනම් පාලකයින්ට තිබු අස්වැසිල්ලයි. විවෘතය පිහිටුවීමේ අරමුණද එයයි. 

නමුත් මේ වන විට පාලකයින් එම අරමුණ අමතක කරවීමට උත්සාහ දරමින් සිටී. මන්ද ඔවුනට පහසුවෙන් විකිනීමට හැකි විශ්වවිද්‍යාලය විවෘතය වීමයි. මන්ද පහසුවෙන් සිසු අරගල මැඩලිය හැකි විශ්වවිද්‍යාලය විවෘතය වීමයි. එසේ වන්නේ විවෘතයේ පොදු සිසුන්ගේ මානසිකත්වය " ඇප මුදල් ගෙවා ඉගෙන ගන්නවා " යන්න වීම සහ "දුරස්ථ අධ්‍යාපනය " යන අතාත්වික ක්‍රමය මේ තුල ගැබ්ව තිබීමයි. එනම් දුරස්ථ අධ්‍යාපනයට මුවාවී විශ්වවිද්‍යාල භුමිය තුලින් සිසුන් ඉවත්කිරීම පාලකයින්ගේ අරමුණ වි තිබේ. ඒ හරහා සිසු අරගල මැඩලීම ඔවුන්ගේ උත්සාහයයි. ඒ සඳහා ඔවුන් 

01 )විශ්වවිද්‍යාල භුමියේ සිසුන්ට රැඳී සිටිය නොහැකි පරිදි Bench කඩා ඉවත් කිරීම.
02) සිසුන්ට රැඳී සිටිය හැකි ආකාරයේ කිසිදු ගොඩනැගිල්ලක් ඉදි නොකිරීමට තීරණය කිරීම.
03) පුස්තකාලයට E Book ක්‍රමය හඳුන්වා දීම.
04) ක්‍රීඩාපිටිය සිසුන්ට තහනම් කලාපයක් කිරීම.
05) නවකසිසුන් පිළිගැනීමට පවත්වන උත්සවයක් හෝ වෙනත් කිසිම ආකාරයක සංස්කෘතික උත්සව පැවැත්වීම සඳහා අවසර ලබා නොදීම.
                                                ඇතුළු තවත් ක්‍රියාමාර්ග රැසක් දෙන තිබේ. එනම් ඔබට පාඩම් කල bench එක අහිමි වන්නේද මේ හරහාය.

එපමණක් නොවේ. පසුගියදා උසස් අධ්‍යාපන ඇමතිවරයා උපකුලපතිවරයාට තරයේ දන්වා (අවවාද) තිබුනේ කෙසේ හෝ විශ්වවිදයාලයේ මුදල් විශ්වවිද්‍යාලය තුලින්ම උපයා ගන්න ලෙසටය. එනම් විශ්වවිද්‍යාල භූමියෙන් සිසුන් ඉවත් කරන අතරේ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමේ මහඟු (ඔවුනට අනුව) කාර්යය ඔවුන් ක්‍රියාත්මක කරමින් සිටී. ලබන වසරේ සිට අධ්‍යන ගාස්තු 40% කින් වැඩි වන්නේද , පාඨමාලා බාහිර සිසුන්ට විකිණීම වැඩි කරන්නේද එහි ප්‍රතිඵලයක් ලෙසටය. 

බොහෝ විට ඔබ තව වසර කිහිපයකින් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ඉවත්වීමට නියමිතය. එනම් විශ්වවිද්‍යාලය රැකගැනීමට වඩා ඔබට ඔබගේ උපාධිය රක ගැනීමේ සිහිනයක් ඇත. එය අපටද නැතුවා නොවේ. නමුත් නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමේ පළමු වෙඩිමුරය ඇප විශ්වවිද්‍යාලයෙන් දැල්වීමට නියමිත මේ මොහොතේ අපි ඔබට ආයාචනය කරන්නෙමු. එනම් දහස් ගණන් ලෙ කඳුළු දහදිය කැපකර , ඇප වෙනුවෙන් ආරක්ෂා කරදුන් නිදහස් අධ්‍යාපනය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම සඳහා සිහිනය මඳකට අමතක කරමු. විවෘතය බේරා ගැනීමේ සටනට එක්වෙමු. 

ඔබට ජය !

                                                                           සමස්ථ පීඨ ශිෂ්‍ය එකමුතුව

(අපේ විශ්වවිද්‍යාලයේ නොවුනත්, ඔබ කව්රුන් උනත් , මේ සටනට එක වේ නම් එය ඔබට මෙන්ම මතු පරපුරටද කරන දායාදයකි.)                   

Saturday, February 16, 2013

විවෘතයේ ඛේදවාචකය

 අපි හැම කෙනෙක්ම ඉපදුන දවසේ ඉඳලම කරන්නෙ ඉගෙනගන්න එක. මුලින්ම අම්ම දිහා බලල ඉගෙන ගන්නවා.ඊට පස්සේ තාත්ත දිහා බලල ඉගෙන ගන්නවා. ඊට පස්සෙ විවිධාකාර මාර්ග ඔස්සේ අපේ දැනුම පිරෙන්න පටන් ගන්නවා. මේ දැනුම තමයි අපේ ජිවිතේ තීරණය කරන ප්‍රධානම සාධකය වෙන්නෙ අද කාලෙ. ඉස්සර නම් කැලේ කොටලා හේනක් වවාගත්තොත් ඔක්කොම හරි. ජිවත් වෙන්න අවශ්‍ය අවම දේවල් ටික තිබුනානම් කිසි කරදරයක් නැතුව ජිවත් වෙන්න ඒ කාලෙ පුළුවන් කම තිබුන. නමුත් ලෝකෙ දියුණු වෙන්න දියුණු වෙන්න අපේ අවශ්‍යතාත් ටිකෙන් ටික වැඩි වෙන්න , සංකීර්ණ වෙන්න පටන් ගත්ත. 

මේ හින්ද 5 වසරේදී අපිට ශිෂ්‍යත්වේ ලියන්න උනා. 11 වසරට එනකොට සාමාන්‍ය පෙළ ලියන්න උනා. 13 වසරේදී උසස් පෙළ ලියන්න උනා. අන්තිමට කියපු විභාගෙ තමයි දැනට ළමෙක්ගෙ ජිවිතේ තීරණය කරන ප්‍රධානම කාරණය වෙලා තියෙන්නේ. මේකෙන් ගොඩ යන්න බැරිවුනොත් ජීවිතෙන් බාගයක් ඉවරයි. ඊට පස්සේ සමාජේ ඒ ළමය දිහා බලන්නෙත් අමුතු විදියට. ගෙදරින් කොච්චර නම් බැනුම් අහන්න වෙනවද? තවත් සමහර යමෙක දරාගන්න බැරුව ජීවිතෙත් නැති කර ගන්නව. මේ පාර උසස් පෙළ සමත් වෙන්න බැරිවුණා සිසුවෙක් සියදිව් හානි කරගත්ත කියල අහන්නත් ලැබුන. 

ඇත්තටම උසස් පෙලින් සමත් වෙන්න පුළුවන් උන ළමෙක්ට , ඒ කියන්නේ ඕනෑම විෂය ධාරාවකින් S 3ක් ගන්න පුළුවන් නම් ඒ ළමයට උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් තියනව. නමුත් ලංකාවේ තත්වය එහෙම නෙමෙයි කියල හැමෝම දන්නවා ඇති. සමත් වෙන සිසුන්ගෙන් කියෙන් කී දෙනාටද විශ්ව විද්‍යාලයකට ගිහින් ඉගෙන ගන්න හම්බ වෙන්නේ? තමන්ට කැමති අංශයක් ඔස්සේ ඉගෙන ගන්න ලැබෙන්නේ බොහොම අතලොස්සකට විතරයි. ඉතුරු වෙන අය පුළුවන් පුළුවන් විදියට තමන්ගෙ අනාගතේ හදා ගන්නව. මුදල් තියන අතලොස්සක් පිටරටවල ගිහින් උපාධිය සම්පුර්ණ කරගන්නව. තවත් ටික දෙනෙක් කොහොම හරි තියන දේවල් විකුණලා හරි පෞද්ගලික ආයතනයකින් උපාධිය ගන්නවා.ඉතුරු ය මොනවා කරනවා ඇද්ද?

මේ විදියට ඉතුරු වෙන අයට යන්න පුළුවන් උන ක්ෂේම භූමියක් තිබුන. ඒ තමයි විවෘත විශ්ව විද්‍යාලය. මේක දුරස්ථ අධ්‍යාපනය අපේ රටේ ප්‍රචලිත කිරීමට ඇති කරපු එකම ආයතනය. මෙහි ඉංජිනේරු , ස්වභාවික විද්‍යා සහ කළමනාකරණ කියල පීඨ තුනක් තියනවා. සාමාන්‍යයෙන් කියන්නේ රැකියා කරන අයට තමන්ගෙ සුදුසුකම් වැඩිදියුණු කරගන්න දෙන උදව්වක් දෙන තැනක් කියල. එහෙම උනත් එතනට ගියාම තේරෙනවා එක එහෙම කරන්න ලෙහෙසි නැහැ කියල. 

මමත් ඔතනට ගියේ මට ඉංජිනේරුවෙක් වෙන්න පොඩි කාලෙ ඉඳලම දැඩි ආසාවක් තිබුන හින්ද. උසස් පෙලින් සමත් උනත් මොරටුව කැම්පස් එකට වත් පේර කැම්පස් එකටවත් යන්න වාසනාව නැතිවුනා. අනික මට උවමනාව තිබුනේ පරිගණක ඉංජිනේරුවෙක් වෙන්න. ඉතින් මම ගියා විවෘතෙට. ගියාම තමයි දැක්කේ මම වගේ තවත් සෑහෙන පිරිසක් එතන ඉන්නව කියල. හරි සතුටු හිතුන.මට ඕන තැනට යන්න දැන් පාර හොයාගෙන ඉවරයි කියල තේරුනාට පස්සේ ඇතිවුන සතුට වචන වලින් කියන්න බෑ. 

නමුත් දැන් ඒ බලාපොරොත්තුව ටිකෙන් ටික ගිලිහිලා යනවා වගේ මට දැනෙනව. අපිට ගොඩ එන්න තිබුන විවෘතයට යනකොට ගේට්ටු වහලා...අපිට වාඩි වෙලා වැඩක් කරන්න තිබුන bench ඔක්කොම ගලවල දාල. දැන් දුරක ඉඳන් එන සිසුවෙකුට හදිස්සියකට පැවරුමක් කරගන්න තැනක් නෑ. පහසුකම් නැතිකම හින්දම පිටින් ලෑලි ගෙනත් හදල තිබුන ඔක්කොම බංකු එක රැයක් එලි වෙනකොට අතුරුදන් වෙලා. බලන්න දුකයි. ඒ විතරක් නම් කමක් නැහැ. අපිට බිම ඉඳගෙන උනත් ඉගෙනගන්න පුළුවන්. මොකද මෙතන ඉන්නේ 95% ක්ම බොහොම දුප්පත් අය . ඒත් අධ්‍යන ගාස්තු 40% කින් වැඩි කරනවා කිව්වම ? මොන තරම් පාහර වැඩක්ද? මගේ මිත්‍රයන් සිටිනවා කුලී වැඩ කරලා මේකේ ගාස්තුව ගෙවන අය.  ඒ අය මොකද කරන්නේ ?

දැනට සාමන්‍යයෙන් අවසන් වසර සිසුවෙක්ට වසරකට ගෙවන්න වෙන්නේ උපරිමයෙන් 30000 ක් පමණ මුදලක්. මේ තියෙන්නේ උපාධියෙ වටිනාකමින් 12%ක් පමණ. හිතල බලන්න අර තරමින් වැඩි වුනොත් කියක් ගෙවන්න වෙනවද කියල? මොකක්ද මේ කරන්න යන්නේ ? 

ගොසිප් 9 එකේ දාල තියෙන ලිපියත් එහි කොමෙන්ටු ටිකත් බලල ඔබම තීරණය කරන්න. මේක ලියන්නෙ බොහොම සංවේගයෙන් සහ දුකින්. තව ලියන්න කරුණු තියෙනවා. ඊලග පොස්ටුවෙන් ඉතිරිය කියන්නම්.

අපේ විවෘතය රැකගන්න උදව් කරන්න.