Thursday, September 27, 2012

අපි නොදන්න Programming (2) - ඉතිහාසය අමතක නොකරමු!


පරිගණක වැඩසටහන් (software හෙවත් programmes) නිර්මාණය කරන්නේ යම් කිසි ගැටලුවකට විසඳුමක් ලබා ගැනීමටයි. උදාහරණයක් ලෙස වදන් සැකසීමේ වැඩසටහනක් (MS word වැනි) සැලකුවහොත් එය නිර්මාණය කර ඇත්තේ කඩදාසි, පෑන් පැන්සල් ආදිය භාවිතා කර ශ්‍රමායිකව (manual ) ලිපි ලේඛන සැකසීමේදී ඇති වන ගැටලු, අඩුපාඩු, ආදිය අවම කර පහසුවෙන් හා ඉක්මණින් ලිපිලේඛන සැකසීමටයි.
මේනිසා පරිගණක වැඩසටහනක් සෑදීමට පෙර විසඳීමට බලාපොරොත්තු වන ගැටළුව , එය විසඳන ආකාරය හා අවසානයේ ලැබිය යුතු ප්‍රතිඵලය ගැන නිසි අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. පරිගණක වැඩසටහන් සෑදීමේදී සිදුවන්නේ හඳුනාගත් ගැටලුව විසඳන ආකාරය පරිගණකයට අවබෝධ කරගත හැකි ආකාරයට පියවරෙන් පියවර ඇතුලත් කිරීමයි. සරලවම ගත් විට පරිගණක වැඩසටහනක් යනු පරිගණකයට ලබා දෙන උපදෙස් මාලාවකි.

ඉතිහාසය

චාර්ල්ස් බැබේජ්

Analytical Engine
(මෙන්න මැෂින් ඈ 
:)  )

පරිගණක වැඩසටහන් (ක්‍රමලේඛන) සෑදීමේ ඉතිහාසය 1840 ගණන් දක්වා දිවයයි. 1834 දී චාර්ල්ස් බැබේජ් (Charles Babbage) විසින් Analytical Engine නම් යන්ත්‍රය ඉදිරිපත් කරන ලදී. එකල පැවති අනෙක් යන්ත්‍ර (පරිගණක) වලට හැකියාව තිබුනේ යම් නිශ්චිත කාර්යයක් කිරීමට පමණි. මේ වා බොහෝවිට ගණිත ගැටලු විසඳීමට යෙදවිණි.  එම යන්ත්‍රයට විසඳිය හැකි ගණිත ගැටලු වර්ගය යන්ත්‍රය නිපදවූ අවස්ථාවේදීම තීරණය වූ අතර ඊට වඩා වෙනස් දෙයක් කිරීමට ඒවාට නොහැකි විය. නමුත් බැබේජ්ගේ යන්ත්‍රයට එකිනෙකට වෙනස් වර්ග වල ගැටලු විසඳීමට හැකියාව තිබුණි. මෙම ගැටලු වර්ග තොරා ගැනීම හා ඒවාට අදාල උපදෙස් ලබා දීම ‘පන්ච් කාඩ්‘ (punch cards) හරහා සිදුවිය.

punch cards
(CD,DVD හා පෙන් ඩ්‍රයිව් වල පරණ නෑයා)

බැබේජ් ගේ යන්ත්‍රයට යෙදිය හැකි උපදෙස් මාලාවක් (වැඩසටහනක්) වංශවත් කාන්තාවක් මෙන්ම ගණිතඥවරියක්ද වූ ඇඩා ලව්ලස් (Ada Lovelace) විසින් ලියන ලදී. මේ නිසා ලොව ප්‍රථම පරිගණක වැඩසටහන් නිර්මාණකාරිය (programmer ක්‍රමලේඛිකාව) ලෙස ඇය ගෞරවයට පාත්‍ර වේ. ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේතුව විසින් නිපදවන ලද පරිගණක භාෂාවකට Ada යන නම තබා ඇත්තේ ඇයව අනුස්මරණය කිරීම සඳහාය. 

Ada Lovelace8-7
/* 
 * කලින් ලිපියට ප්‍රතිචාර දැක්වූ  හැමෝටම ස්තූතියි. ඊලඟ ලිපියෙදී පරිගණක භාෂා (programming languages) ගැනත් ඒවා අතර සමාන-වෙනස් කම් ගැනත් කතා කරමු.

 ෴ අංජන
*/

Tuesday, September 25, 2012

සරන්බාස්ගේ වික්‍රමය ( අමාරිස් අයියා )

බේබිනාගේ ශුර බුද්ධියත් , තැනට ඔබින වචනත්, නිතර සොම්නසින් යුතුව කල් ගෙවීමත් , සංවිධාන ශක්තියත් ගම්මුන් තුල ඇය කෙරෙහි පුදුමයක් මෙන්ම ප්‍රසාදයක් ජනිත කලේ ඉතාම ඉක්මනිනි. 

කාටත් විහිලු කරන බේබි අක්කාට විහිළුවක් කිරීමට ' සරන්බාස් ' ට සිතින. ගමේ කව්රුත් සරන්බාස් යනුවෙන් හැඳින්වූ ඔහුට සිල්ලර කඩයක් තිබිණ. කඩේට අවශ්‍ය භාණ්ඩ සෙවීම සඳහා උදේ කාලයේ ගම පුරා ඇවිදීම ඔහුගේ සිරිතය. 

     බේබි අක්කාගේ නිවාස ආසන්නයට ලං වන විට ඔහු දැඩි කලබලයක් ආරෝපණය කර ගත්තේය. අනතුරුව ගෙමිදුලට වේගයෙන් දිව ආවේය.

"බේබි අක්කේ .... බේබි අක්කේ.... "

සියල්ලෝම කලබලයෙන් දිව ආහ. 

"අන්න හෙන්ද්‍රික් බාස්උන්නැහේ සිහි නැතිව වෙලේ වැටිලා. "

මේ විහිළුවෙන් නම් බේබි අක්කගේ ඇස රතු උන බව ඔහුට වැටහින . බේබිනා පිරිවර නෑසියන් සමගම වෙල්යාය දෙසට දිව ගියාය. 

සෙස්සන් කුඹුර කොටද්දී නියර මත ඔබ මොබ ඇවිදිමින් සිටින හෙන්ද්‍රික් බාසුන්නැහේව ඇයට දුර තියාම හඳුනා ගැනීමට හැකිවිය. සරන්බාස් ඇස රතු කල විහිලුවට පාඩමක් ඉගැන්විය යුතු යයි ඇය ඒ මොහොතේම සිතුවාය. 

අඩක් ඉදුණු කෙසෙල් කනක් කරින්ද , අතින් මල්ලක්ද ගෙනමිනිසෙක් පාරේ යනු පෙනේ. ඔහුට ඉදිරියෙන් යන්නේ සරන්බාස්ය. බේබිනා ඔහු හඳුනා ගත්තේ කල් ඇතිවය. ඇය වට අද්දර සිට කතා කලාය. 

" ආ බාසුන්නැහේ කෙහෙල් කනක් හොයාගෙන තියෙන්නෙ , පොඩි කෙහෙල් කැනක්නෙ, කොහෙන්ද හොයා ගත්තේ...? "

ඇය කීවේ තමාගේ සරුවට වැඩුණු කෙසෙල් කොරටුව දෙස බලමින්ය. 

" කිව්වා නම් හොඳ කෙහෙල් කැනක් දෙන්නත් තිබුනා. "

කෙසෙල් කැන බිම තැබූ කුලී කරුවා බේබිනා දෙස බලා අහිංසක සිනාවක් පෑවේය. 

" පොඩි උනාට බරයි...." ඔහු කිවේය. 

සරන්බාස්ගේ නෙත් බේබිනාගේ කෙසෙල් කොරටුව වෙත යොමු විය. මින් කෙසෙල් කැනක් රැගෙන යන්නට නම් අඩුම තරමේ වීල් බැරක්කයක්වත් ඕනෑ වෙයි. 

"බේබි අක්කේ නැද්ද හොඳ කෙහෙල් කැන්...? "

"ආ! එකක් තිබුනා. ආන් අර පිළිකන්නෙ."

"එහෙමද එහෙනම් මං ගිහින් හැන්දෑ වෙලා එන්නං...."

සරන්බාස් සහ කුලී කරුවා ලහි ලහියේ පිටත් වුහ. හිරු අවරට හැරුණි. වීල් බැරෝවක් රැගත් තවත් කුලීකරුවෙක් සමග සරන්බාස් පැමිණ තිබේ. 

"බේබි අක්කෙ ....කෙහෙල් කැන...."

බේබිනාගේ කට කොනකට සිනාවක් අගින. බේබිනාගේ උපාය හරි ගියේය.

"වීල් බැරක්කෙකුත් ගෙනාවද? අන්න අර පිළිකන්නෙ...."

සරන්බාස් ගේ පිටුපසට යයි. කුලීකරුවා බිත්තියේ නොවදින්නට සීරුවෙන් වීල් බැරෝව තල්ලු කරමින් ඔහු පසුපසින් යයි. 

ගේ පිටුපස කෙහෙල් කැනක් නැත. ඔහු විපරමින් බැලීය . ගෙඩි කහ පැහැ ගැන්වුණු ඉතා කුඩා නොමේරු කෙසෙල් කැනක් බිත්තියට හේත්තු කර තිබෙනු පෙනින. එහි ඇත්තේ ඉතා කුඩා ගෙඩි දහයක් හෝ දොළහකි . තමාගේ විහිලුවට පිළිතුරු ලැබුන බව වටහාගත් ඔහු තම මහපට ඇඟිල්ලටත් වඩා කුඩා කෙසෙල් ගෙඩියක් කඩාගෙන කටේ දමා ගත්තේය. අනතුරුව තවත් ගෙඩියක් කඩා කුලිකරුවාට විසි කළේය.

" කාපන් මෙව්වා හරි ගුණයි. "

"මට එපා "

කුලීකරුවා වීල් බැරක්කයද සරන්බාස් වෙත දමා යන්නට ගියේය.

Monday, September 17, 2012

බේබි අක්කා සහ හෙන්ද්‍රික් ප්‍රනාන්දු ( 2 කොටස )

හෙන්ද්‍රික් බාස් උන්නැහේ , තම පදිංචිය සඳහා තෝරා ගත්තේ ගල්බොරැල්ල වරාගොඩ පාරට ආසන්න බිම් කඩකි. කොළඹ නුවර පාරෙන් කැලණිය දෙසට සැතපුමක් පමණ ගමන් කරන විට ඔහුගේ දෙමහල් නිවාස දක්නට හැකි විය. පාර අයිනේ පදිංචිය ඔහුගේ ව්‍යාපාර කටයුතු වලට පහසුවක් වුවා විය හැකිය. පවුලේ සෙසු සහෝදරයන් තුන් දෙනා සහ සහෝදරියන් දෙදෙනාද මේ අවටම පදිංචි වී සිටියහ. 

මේ පව්ලේ මහගෙදර පිහිටියේ තරමක් ගම ඇතුලට වෙන්නටය. පේදුරු උපාසක තැන හමුවීම සඳහා නගරයේ සිට පැමිණෙන බොහෝ අය තමන් පැමිණි වාහනය නතර කරන්නේ හෙන්ද්‍රික් බාසුන්නැහැගේ නිවාස ඉදිරිපිටය. අනතුරුව ඔව්හු පා ගමනින් ඒ නිවසට යති. 

උදේ ආහාරය පිළියෙළ කර තැබූ බේබිනා , මිදුල ඇමදීම සඳහා පිළිකන්න දිගේ මිදුලට පැමිණියාය. මිදුල ඉදිරිපිට අශ්ව කරත්තයක් නවතා තිබේ. ඉදල ගසකට හේත්තු කල ඕ සෙමෙන් අශ්ව කරත්තයට ලං වුවාය. එහි පිත්තල ඇඳි අපුරුවට ඔප දමා තිබිණ. කරත්තයේ බැඳී තරුණ ශක්තිමත් අශ්වයා මහත් අලස බවක් දක්වයි. ඇගේ මුවගට සිනහවක් නැගිණ . අයිතිකරු තම අශ්ව කරත්තයේ පැවැත්ම ගැන වුවමනාවට වඩා සිතන්නෙකු යයි ඇය කල්පනා කලාය .  



අපුරු අදහසක් පහල විය. යලි නිවසට ගිය ඕ දෙමව්පියන් දකින්නට යමු යැයි සිය සැමියාට යෝජනා කලේ වහ වහා කුඩා දරු දෙදෙනාද සුදානම් කරගෙනය. 


පේදුරු උපාසක තැනගෙන් අනාගතය ගැන අසා දැනගත් නිවසින් එලියට බැසගත් අමුත්තා තම අශ්ව කරත්තය මිදුලේ නතර කර තිබෙනු දැක පුදුමයට පත් විය. 

ගල්මුල් බෑවුම් සහිත අඩි පාර දිගේ බේබිනා සීරුවට අශ්ව කරත්තය දක්කාගෙන ගිය අයුරු ඉන් වසර පනහකට පසුවද සිහි කළෝ ගල්බොරැල්ල ගමේ සිටියහ. 

( ඊළගට : සරන්බාස් ගේ වික්‍රමය )

Saturday, September 15, 2012

අපි නොදන්න Programming !

"එකෝමත් එක කාලෙක පරිගණක කියලා දෙයක් තිබුණලු. ඒ කාලෙ හිටිය හැමෝම පරිගණකව දැන අඳුන ගන්න, ඉගෙනගන්න එහෙම හරිම උනන්දුයිලු. ඒත් ඉතින් මේ පරිගණක හරිම මෝඩයි ! මොකද වැඩ කරන්න ඔන විදිහ කවුරුහරි එයාට කියලා දුන්නෙ නැතිනම් තනියෙම හිතලා මතලා කිසිම දෙයක් කරගන්න බැරි නිසා. ඉතින් පරිගණක පාවිචිචි කරන දැනමුත්තෝ විදියට අපෙන් කෙරෙන්න ඔනි වැදගත්ම දේ තමයි මේ මෝඩ පරිගණකයට වැඩ කරන හැටි කියාදීම. හැබැයි වැඩ කරන පිළිවෙල පරිගණකයට කියා දුන්නට පස්සේ, ඒ උපදෙස් ටික අකුරක් නෑර තිතටම (තිත් කොමාවටම ; ) කිසිම කම්මැලිකමක් නැතිව කරන්න නම් පරිගණක හරිම හපනා.

හැබැයි ප්‍රශ්නයක් තියෙනවා, ඒ තමයි පරිගණකයට තේරෙන්නේ 0, 1 විතරයි. (දැක්කා නේද ඉස්කොලෙන් හොරෙන් පනින එකේ විපාක) එයාට අපිට වගේ 2, 3, 4 කියලා ගණන් කරන්නත් බෑ, අ ආ ඇ ඈ a b c d කියලා අකුරු කියන්නත් බෑ. එයාට තේරෙන්නේ 10100010101010 10101010101010 01100110101010 010101010100010 වගේ කිව්වොත් විතරයි. ඒත් ඉතින් එහෙම කියන (ලියන) ඒවා අපිට තේරෙන එකක්යෑ. ඒ හින්දා අපි අපිට තේරෙන බාසාවකින් කියලා (ලියලා) 1,0 හරඹෙ හොඳට පුළුවන් කෙනෙක්ලවා 1,0 වලට හරවලා තමයි පරිගණකයට දෙන්න ඕනි. (බලන්නකො මූ ඉස්කෝලෙ ගිහින් අකුරු ඉගෙන නොගත්ත එකෙන් අපිට තියෙන වදයක් !)

ඉතින් ඔය පරිගණකයට තේරෙන 1,0 වලට machine language කියලා කියනවාලු. අපිට තේරෙන භාෂාවට high level languages කියලා කියනවලු.

ඔන්න ඔහොමයි දිග....ම දිග කතාවක් පටන් ගන්නෙ. කතාව කියන මම වෙනදා ලාබයි ඇපල් ලියන දර්ශන නෙවෙයි, අංජන. දර්ශනත් ඉස්සරහට උදව් වේවි කතාව කියන්න.

/* -------------------------------

* මුලින් ලියලා තියෙන දේ තේරුනේ නැති කවුරු හරි ඉන්නවානම්,

* Software Development & Programming ගැන ලිපිපෙලක මුල තමයි මේ.

--------------------------------*/

Sunday, September 9, 2012

බේබි අක්කා සහ හෙන්ද්‍රික් ප්‍රනාන්දු ( අමාරිස් අයියා )

( සැමුවෙල්  ගේ ජීවිත කතාව )

මොරටුව බොරුපන බේබිනා ගමේ කා අතරත් ජනප්‍රිය තරුණියකි. ඇය කටකාරියක මෙන්ම හැඩකාරියකද  වෙයි. ගමේ කාගේත් ප්‍රශ්න වලදී ඇය ඇගේ පියාද සමග වහා මැදිහත් වෙයි. ගම්වැසියන්ට තාඩන පීඩන කල ගම්මුලාදෑනියා ගස් බැඳ පොලිසියට භාර දෙන්නට තරම් එඩිතරකමක් ඇගේ පියාට තිබිණ. එවිටද ඇය පියා සමග වුවාය. යුක්තිය හමුවේ පිරිමියෙකු මෙන් ඉදිරියට එන්නට තරම් ඇය ශක්තිමත් වුයේ තම පියාගෙන් ලද ආභාෂයෙනි. 

නිතර විහිළුවෙන් තහළුවෙන් ගම්මුන් හා සුහදව කාලය ගතකල බේබිනා බොරුපන වැසියන්ට පාළුව ඉතිරි කොට කැලණිය ගල්බොරැල්ලේ හෙන්ද්‍රික් ප්‍රනාන්දු හා විවාහ වී කැලණියේ පදිංචියට පැමිණියාය. ඒ 1920 අගෝස්තු 30 දා ය .

'සැමුවෙල් ' හෙන්ද්‍රික් ප්‍රනාන්දු සහ බේබිනා බරබෝස් ගේ යුගදිවියේ කුළුඳුල් දරුවාය. ප්‍රථම දරු ප්‍රසුතිය සඳහා මොරටුව බොරුපනට පැමිණි ඇය දරුවාද රැගෙන ඉක්මනින් යලි කැලණියට ගියේ සැමියාගේ කටයුතු වලට උදව් දීම අත්‍යවශ්‍ය වූ නිසාය. 

බේබිනා ගේ පැමිණීම හෙන්ද්‍රික් ගේ ජිවිතයට ආලෝකයක් විය. ආර්ථිකයද ක්‍රමයෙන් සරු විය. ඔහු සතු හිස් ඉඩම් කට්ටි වල රබර් පල දළුලන්නට විය. පොල් වගාවද , වී වගාවද සරු විය. වසර හතරක අවෑමෙන් ඔවුනට තවත් පිරිමි දරුවෙකු ලැබිණ. හේ මිල්ටන් ය. පසුකලෙක ගම්මුන් ඔහු හැඳින්වුයේ විල්බට් කියාය. 

ඉදිකිරීම්  කොන්ත්‍රාත්කරුවෙකු ලෙස කටයුතු කල හෙන්ද්‍රික් ගමේ කව්රුත් හැඳින්වුයේ හෙන්ද්‍රි බාසුන්නැහේ කියාය. මේ අනුව ඔහුට ගමේ හොඳ පිළිගැනීමක් තිබිණ. මෙයට තවත් ප්‍රභල හේතුවක් වුයේ ඔහුගේ පියාය. හේ පතල ජ්‍යාතිශාස්ත්‍රඥයෙකු වූ පේදුරු ප්‍රනාන්දුය. 

මේ වනවිටත් පේදුරු උපාසක තැන හමුවීමට අවට ගම් වල සිටද කොළඹ නගරයෙන්ද බොහෝ දෙන පැමිණෙති. පේදුරු ප්‍රනාන්දු ප්‍රකට වුයේ ජ්‍යාතිශාස්ත්‍රඥයෙකු වීම නිසාම පමණක් නොවේ. ඔහු ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලාගේද ගෞරවය දිනාගත් උපාසක මහතෙකි. ගම්වැසියන් එක්කොට මුල්ම සීල ව්‍යාපාරය සංවිධානය කරනවිට ඔහුගේ වයස 12 කි. කැලණිය ගල්බොරැල්ලේ බෝධිරුක්ඛාරාම විහාරස්ථානය ඉදිකරන්නට මුලික වුවන් අතර පෙරමුණ ගෙන ඇත්තේද ඔහුය. වයස අවරුදු 115ක් ජිවත් වූ පේදුරු උපාසක තැන ඔහුගේ දෙටු මුනුබුරා වූ සමුවෙල්ගේ ජිවිතයට තදින්ම බලපෑවේය. 

                                 .     .     .     .     .     .

(ටික දිනක විනෝද චාරිකාවක් යන්න හිතාගෙන ඉන්න හින්ද කට්ටියගේ බ්ලොග් කියවන්න වෙන්නේ නැති එකට සමාවෙන සේක්වා.....! එත් මම නැති අතරතුර මගේ යහළුවා මෙන්ම මගේ ගුරුවරයෙක් වන අංජන මෙහි ලිපියක් පල කරන බවක් කිව්වා. බලලා හිතෙන දේවල් ලියලා යන්න. )

Tuesday, September 4, 2012

එක්සෙකෙටිවූ කිකිළි


අපේ පොඩි මාම ගේ
ගෙදර හරි අරුමයක්
පුටුව උඩ වාඩිවෙලා
ඉන්නවා කිකිලියෙක්

එලෙව්වට යන්නෙත් නෑ
බිත්තරේ දාන්න
එනවනේ පුටුව උඩට
ගිය ආත්මේ පුරුද්දද
දන්නේ නෑ කියන්න නම්

කොහොමත් මේ වගේ
පුටු වල වාඩි වෙන
ගොඩක් අයට
මේ ගතිය තියනවලු :P

අනේ මම නම් ඕව දන්නේ නෑ ඕන්

Monday, September 3, 2012

සැමුවෙල්ගේ ළමා කාලය (අමාරිස් අයියා )

(උපුටා ගැනීම - චන්දන තිලකරත්න ගේ ' අමාරිස් අයියා ' කෘතියෙනි. )


බොරළු පාරේ බෑවුම අතට බයිසිකලය වේගයෙන් ඇදී  යයි. එහි නැගි , යන්තම් ගැටවර වියට පිළිපන් දඟකාරයාගේ මුහුණේ ප්‍රීතිමත් සිනහවක් මැවී තිබේ. "බයිසිකල් පදින ක්‍රමය මට දැන් අහු උනා " යයි ඔහු ප්‍රීතියෙන් උදම් වෙයි. බයිසිකලය ගත්තේ පැයට සත දහයේ කුලියටය. එහි බ්රේක් නැත. හුලන් වෙනුවට ටයර වල ඇත්තේ පිදුරුය. මේ වගේ බයිසිකල් ගමටම ඇත්තේ දෙකකි. ඉන් එකක් ඕනෑම වෙලාවක ගත හැකිය. එහෙත් ප්‍රශ්නය වන්නේ ඒ සඳහා ගෙවිය යුතු මුදලයි. ලොකු බාප්පාගේ බිරිඳට ඇවිටිලි කිරීමෙන් අද එය ලබාගත හැකි විය. මව නැති මේ දරුවාට ඇය කරුණාවෙන් සලකන්නිය.  

කුඩම්මාට සිතින් පින් දෙමින් ඔහු වේගයෙන් ඉදිරියට යයි. වට්ටි පෙට්ටි හිසින් ගෙන ඉදිරියෙන් යන වයස්ගත කාන්තාවකි. ඈ අසලටම යනතුරු ඔහු මේ කිසිත් නොදකී.

වට්ටි අම්මාගේ ඇත වූ මල්ලක පැටලුනු බයිසිකලය ඔහුද රැගෙන සැනින් අසල වූ එරමිනියා ගාලෙහි රැඳුනි. සීරී ලේ ගලන වැලමිට දෙසද , බිම වැටී කැරකෙන බයිසිකලයේ ඉදිරිපස රෝදය දෙසද වරින්වර ඔහුගේ නෙත් යොමු වෙයි . පසුව හදිසියේ යමක් සිහි වූ කලෙක මෙන් හිස ඔසවා ඔහු ආපසු බැලීය.  

වට්ටි අම්මාද තම වට්ටි පෙට්ටි අතරින් නැගි සිටීමට වෙර දරනු පෙනේ. වඡ මෙතනින් පැනගත යුතු යයි ඔහුට සිතුනි . එහෙත් ඔහු එසේ නොකළේය. ඔහු සෙමෙන් සෙමෙන් ඇය වෙත ගොස් ඇයට නැගි සිටින්නට උදව් කළේය. 

අසීරුවෙන් සිට ගත කාන්තාව වේදනාව දරා ගනිමින් කෝපයෙන් වෙව්ලන්නට වුවාය . එහෙත් කොලුවාගේ මුහුණ දුටු ඕ මුවගට නැගුනු පරුෂ වචන කිහිපය වහා ගිල ගත්තාය

" හෙන්ද්‍රික් බාසුන්නැහගේ ළමයෙක් නේද ? "
" ඔව් "
" විට්ටර් නේද ? "
" ඔව් " 


ඇය කෝපය වසන් කරගනිමින් කතා කලාය. 


" අපුරුයි , තව පොඩ්ඩෙන් මගේ කොන්දත් කැඩෙනවා.
"

අනතුරුව කාන්තාව තමාගේ කැඩුණු භාණ්ඩ දෙස බලා සුසුමක් හෙළුවාය. නැවුම් වල කීපයක්ම කැඩී ගොසිනි.

 
" ආච්චිට කියක් ඕනෙද ? "
" රුපියලක් වත් ඕනෑ වෙයි. ආයෙ මේව අලවන්ඩයැ "


ඇය බිඳුණු මැටි භාණ්ඩ කීපයේ කැබලි එරමිනියා ගාලට විසි කලාය.


" ඉන්ඩ මම සුරුස් ගාල ගෙනත් දෙන්නෙම්. "



කොලුවා මොහොතකින් නොපෙනී ගියේය. සියලු විස්තර නොවලහා හෙලිකල පසු කුඩම්මාගෙන් රුපියලක් ලබාගැනීමට ඔහුට එතරම් අපහසු නොවීය.


මවගේ මරණයත් සමග ඔහුගේ එකම සොයුරාට මෙන්ම ඔහුටද පවුලේ සෙසු ඥාතීන්ගේ ආදරය කරුණාව නොඅඩුව ලැබිණි. ඔවුන්ගේ බොහෝ ඔනෑ එපාකම් පිළිබඳව සියල්ලෝම සාමුහිකව සොයා බැලුහ. 


' වික්ටර් ' යනුවෙන් කැලණිය ගල්බොරැල්ල ගමේ කාගේත් ආදරය දිනු මේ දරුවාගේ නියම නම  ' සැමුවෙල් ' ය. කොන්ත්‍රාත් කරුවෙකු වූ ඔහුගේ පියා තමන්ට බෙහෙවින් උපකාර කල සුදු ජාතික මහත්මයෙකු සිහිවීම පිණිස තම වැඩිමල් පුතාට මේ නම තබා තිබිණ. මේ අනුව ඔහු සැමුවෙල් රොද්‍රිගෝ නම් විය.