Saturday, January 9, 2021

කනෙයියා - Maliponiculture - 02

 


ලංකාවෙ ජිවත් වෙන අපි නම් කනෙයියෝ ගැන අහල තියෙනවා ඕන තරම්. දැකලත් තියෙනවා. ලොව පුරා කනෙයියන් වර්ග ගණනාවක් ඉන්නවා. දැනට දල වශයෙන් ගත්තොත් වර්ග 500 කට එහා ගිය ගනනක් සොයාගෙන තියෙනවා. මේ ලිපිය ලියන අතරතුරත් තවත් කනෙයි ප්‍රබේධයක් සොයාගැනීමට යම්කිසි සම්භාවිතාවක් තියෙනවා. මිට හේතුව තමයි මෙතෙක් කල් කනෙයියන් ගැන ලොකුවට අධ්‍යනයක් සිදු කර නොතිබීම. ලෝකයේ වැඩිම අවධානයක් යොමු උන මී මැස්සන් ගැන නම් ඕන තරම් පරීක්ෂණ සහ අධ්‍යන කර තිබෙනවා. ඔවුන්ගේ චර්යා රටා, වැඩියෙන් සොයා යන මල් වර්ග, දේශගුණික තත්ත්ව බලපාන ආකාරය යනාදී විවිධ තොරතුරු ඉතාමත් පහසුවෙන් අන්තර්ජාලයෙන් හෝ ප්‍රදේශයේ සිටින කෘෂි උපදේශක මහතාගෙන් හෝ මහත්මියගෙන් ඇසුවහොත් දැනගන්න පුළුවන්. නමුත් පැණි එකතු කරන මේ කුඩා මැස්සා ගැන අපේ රටේ ඉන්න වෙද මහත්තුරු ඇරෙන්න වෙන කෙනෙක් ගෙන් නම් අහගන්න බැරිවෙයි.


ලංකාවෙ ඉන්න පැණි එකතු කරන මැස්සන් ප්‍රධාන වශයෙන් කොටස් 4 කට බෙදනවා.

                1. මී මැස්සා - Apis Cerana Indica

                2. බඹරා - Apis Dorsata

                3. දඬුවැල් මැස්සා - Apis Florae

                4. කනෙයි මැස්සා - Tetragonula Iridipennis


මේ වර්ග 4 ලංකාවේ පරාගනයට ඇති මහත් සේවාවක් කරන සතුන් වර්ග හතරක්. ඉතා විශාල ගස් , එහෙමත් නැත්නම් රූස්ස ගස් පරාගනය කරන්නෙ බඹරා. මේ අතරම දඬුවැල් මැස්සා සහ මී මැස්සා එකම ආකාරයෙන් අනෙක් මල් පරාගනය කරනවා. නමුත් මේ තුන් දෙනා සලකල බැලුවම මේ තුන් දෙනාටම කරදරයක් උනාම විදිනවා. මේ ගැන නම් අපේ අය හොඳටම දන්නවා ඇති නේද? අපි විවිධ කතා අපේ වැඩිහිටියන්ගෙන් අහල ඇති. බඹරු 7 ක් කෑවොත් දෙබරවිස. දෙබරු 7ක් ඇන්නොත් නයි විස කියලයි අපේ පැරැන්නෝ කිව්වේ. මේවයේ ඇත්ත නැත්ත නම් කොහොමද දන්නෙ නෑ හැබැයි ඇත්තක් නැති වෙන්න නම් බැහැ. මී මැස්ස එන්නම නම් විත ඇඟේ ඇනිලා තියෙනවා. ඕක ගැලෙව්වේ නැත්නම් ඉදිමෙනවා. සමහර අයට මේ විත බොහොම සැරයි. ගොඩක් අමාරු වෙනවා. සමහර අයට නම් ගොඩ දෙනෙක් විද්දත් කිසි ගානක් නෑ පොල්තෙල් ටිකක් ගාගත්තම වැඩේ හරි. මට හොඳට මතකයි අපේ ලොකු මාමයි චූටි මාමයි මී කඩනකොට දවසක් එක මී මැස්සෙක් ඇහැ ගාවට විද්දා. මම ගෙදරට ආපු විදිය මතක නෑ ඒ තරම් වේදනාවක් දැනුනේ. හැබැයි දෙවෙනි තුන්වෙනි අය කනකොට වේදනාව ටිකක් අඩු උනා. මේ වගේ අත්දැකීම් තියෙන අය මේ කියවන අය අතරත් ඇති.


මේ විදියට කතා කරනකොට කනෙයි මැස්ස කියන්නේ අපේ පරිසරයට සහ ස්වභාව ධර්මයට ගොඩක් උදව් කරන සතෙක්. ශාක පරාගනය මගින් ගස් වල වල පැතිරීමට විශාල උදව්වක් කරන පුංචි සතෙක්. නමුත් මේ කනෙයි මැස්සා ගැන අපි දන්නෙ ඔච්චරද කියල මට හිතුනේ මේ ගැන හොයන්න පටන් ගත්තට පස්සේ. අහම්බෙන් මේ ගැන Youtube එකේ වීඩියෝ එකක් දැක්කට පස්සේ සිංහලෙන් මේ ගැන ලියවුනු ලිපි හොයන්න පටන් ගත්ත. නමුත් කියන්න දුකයි මට ලිපි දෙකයි මේ ගැන කියවන්න ලැබුනේ. පර්යේෂණ මට්ටමෙන් ලංකාවෙ කනෙයි මැස්ස ගැන කරල තියෙන දෙයක් ඇත්තෙම නැති තරම්. මම ඒ ලිපි දෙකට link දෙකක් පහලින් දාන්නම්. 


DIVERSITY OF STINGLESS BEES (HYMENOPTERA: MELIPONINI)  IN SRI LANKA

First record of a tear-drinking stingless bee from the central hills of Sri Lanka


මේ ලිපි දෙකෙන් යම් විද්‍යාත්මක දැනුමක් ලබාගන්න පුළුවන් උනත් කනෙයියන් ගෙ හැසිරීම, ආහාර රටා, ජනපද සොයාගන්නෙ කොහොමද, ජනපදයක් සොයගත්තම කොහොමද මේක පෙට්ටියකට හෝ උණ බම්බුවකට ගන්නෙ යනාදිය පිලිබඳ වෙනමම සොයන්න උනා. අපේ රටේ මේ ගැන උනන්දුවක් නැති උනත් ඉන්දියාව, මැලේසියාව, ඔස්ට්‍රේලියාව වගේ රටවල් මේක ඉතාමත් සාර්ථකව කරන්ගෙන යන ව්‍යාපාරයක් සහ ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් කියල ඔප්පු කරල තියෙනවා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ කනෙයි මැස්සන් ඇති කරන්නෙ සුරතල් සතුන් හැටියට. ඉන්දියාවේ සහ මැලේසියාවේ කනෙයි පැණි නිෂ්පාදනය ඉතාමත් සාර්ථකව කරනවා. ඒ නිසා ඉන්දියාවේ නිෂ්පානය කරපු වීඩියෝ ගොඩක් අපිට Youtube එකේ හොයාගන්න පුළුවන්. හැබැයි ගැටලුවකට තියෙන්නෙ මේ ගොඩක් ඒවා තියෙන්නෙ හින්දි, දෙමල හො මලයාලම් භාෂා වලින්. ඉතාමත් කලාතුරකින් තමයි ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන එකක් හොයාගන්න පුළුවන් වෙන්නෙ. ඉතින් හරිම අමාරුවෙන් තමයි මේ දැනුම මම හොයා ගත්තේ. ඒ කොච්චර දැනුම එකතු කරගත්තත් අපේ රටට සමහර දැනුම ගැලපෙන්නේ නෑ. ඒ නිසා ඒ පිලිබඳ වෙනමම පර්යේෂණ කරන්න වෙනවා. 


කනේයියා කියන සතා ඉතාමත් කුඩයි. සාමාන්‍යයෙන් ගත්තොත් 3mm වගේ දිග ප්‍රමාණය තියෙන, රංචු වශයෙන් ජීවත් වන සහ ඕනෑම පරිසර තත්වයක් යටතේ කිසිම අපහසුවකින් තොරව ජීවත් වෙන්න පුළුවන් සතුන් විශේෂයක් විදියට මුන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි කනෙයියා කියන සතා අපේ ගෙවල් වලත් බොහෝවිට දකින්න ලැබෙන සතෙක්. මම අහල තියෙනවා අපේ අම්මල කියනවා කනෙයි වද ගෙදර තියෙන එක අවාසනාවක් ලූ කියල. මේකෙ සත්‍ය අසත්‍ය නම් මම දන්නෙ නෑ දන්නා කෙනෙක් ඉන්නවා නම් පහලින් ඒ ගැන කොටාගෙන යන්න.


මේ උඩින් තියෙන්නෙ කනේයියගේ සමීප පින්තුර කිහිපයක්. ලඟට දැක්කම නම් ටිකක් බය හිතෙන මුණක් තියෙනවා. නමුත් මුන් ඉතාමත් අහිංසක සතුන් කොට්ඨාසයක්. (ඇවිස්සිලා නැත්නම්). මොවුන් පොදුවේ විත නැති මී මැස්සන්, එහෙමත් නැත්නම් Stingless bee යනුවෙන් හඳුන්වනවා. Dammar bee කියලත් සමහර අවස්ථා වල හඳුන්වනවා. අන්තර්ජාලයේ මේ ගැන හොයනවා නම් මේ නම් වලින් හොයල බලන්න. කනෙයියා කියල ගහල හෙව්වට මගේ ලිපියට අමතරව පත්තර වල ගිය ලිපි කිහිපයක් විතරයි සිංහලෙන් හොයාගන්න හම්බ වෙන්නෙ. ඉතින් මේ කනෙයියා කියන සත්ත්වයා ගැන ලෝකේ තවමත් පර්යේෂණ කරනවා. අද වෙනකොටත් කනේයියන් ගේ අලුත් විශේෂ හඳුනාගනිමින් පවතිනවා. විශ්වාස කරනවානම් කරන්න මම දැක්ක අප්‍රිකාවේ ඉන්න එක විශේෂයක් ඔවුන්ගේ ගෙවල් හදන්නෙ සතුන්ගේ මල පහ වලින්. දෙබර වදයක් තරමට විශාලව හදන කනෙයි විශේෂයක්. ඉතින් එයාලගේ පැණි ගැන තවත් කියන්න දෙයක් නෑනේ හරිම රස ඇති. 

ඉතින් කොහොමින් කොහොමින් හරි මමත් කනේයියන් ගැන අධ්‍යනය කරන්න පටන් ගත්ත. දැනට මගේ ගාව කනෙයි පෙට්ටි 3ක් තියෙනවා. මේවා හදල ගොඩක් කාලයක් නැති නිසා මට ඒවා ඇතුලත් කොහොමද කියල පෙන්නන්න බැරි උනත් ඉදිරියේදී මට ඒවා පෙන්නන්න පුළුවන් වෙයි. ඊළඟ ලිපියෙන් මම කියන්නම් මම අද වෙනකොට මේ ගැන ඉගෙනගෙන තියෙන්නෙ මොනවාද කියල. මේ ගැන හොඳටම අවබෝධයක් නොතිබුන නිසා තුන් පාරක් මගේ පෙට්ටි වල හිටපු කනේයියන් විනාස උනා. ඒ නිසා ඔයාලට මම කරපු වැරදීම් කියන්නම් ආපහු සිදු නොවෙන්න මට උන දේ ඔයාලටත්. 


ආයුබෝ වේවා....!!!


3 comments:

  1. මේ පැනි වල වටිනකම කොහොමද.globle

    ReplyDelete
  2. මගෙත් මී පෙට්ටියක කනෙයි ඇවිත් ඉන්නවා .. දැන් අවරුදු 2ක් විතර පරණ ජනපදයක් .දිගටම ඉන්න දෙන්න ඉන්නේ .

    ReplyDelete
  3. මටත් කනෙයියා වදයක් ඇති කරන්න ඕන වෙලා තියෙනවා. පුළුවන්න්ද කියල දෙන්න වැඩේ පටන් ගන්නෙ කොහොමද කියලා

    ReplyDelete