Thursday, November 5, 2020

කනෙයි මැසි පාලනය - Meliponiculture - 01

 



රූපය ගත්තේ මෙතනින්.

මී මැසි පාලනය... මේ අපේ වගාවන් ගැන, එහෙමත් නැත්නම් බෙහෙත් ගැන මතක් වෙනකොට ඔලුවට එන වචනයක්. ඉස්සර නම් මී මැස්සෝ පාලනයක් ගැන අදහසක් තිබ්බේ නෑ. කොහේ හරි ගස් දෙබලක හරෝ ගල් කුහරෙක හරි තිබ්බ එකක් දුම් ගහල හරි නැත්නම් වැඩ දන්නා අය නම් කොළ අත්තකින් පිහිදාල හරි වදේ කඩාගෙන එනවා. ඊට පස්සෙ පැණි ටික මිරික ගන්නවා. මේ ලඟක් වෙනකම් ලංකාවේ තත්වය ඔන්න ඕකයි. සමහර අය නම් පැණි වද ටික අරගෙන හකුරු වදයි පිළා වදයි ඔක්කොම එතනම දාල එනවා. තවත් අය ඔක්කොම ගෙනල්ල පැණි ටික මිරිකලා අරගෙන හකුරු වද ටිකත් කාල පිළා වදෙත් කනවා. මොකද පිළා වදේ කිරි රහ නිසා. සමහර අයට මේක අප්පිරියා උනාට, හේතුව පිළා වදයේ ඉන්නෙ මී මැසි බිත්තර වලින් එලියට ආපු පණුවෝ, මී වාදයකින් කිසිම දෙයක් අපතේ දාන්නෙ නම් නෑ කැලයේ යන අය නම්. 


මේ කොච්චර උනත් ඒ කාලෙ මේ වදේ ඉන්න මැස්සන්ට මොකෝ වෙන්නෙ කියල අපි කල්පනා කලේ නෑ. උන් මැරෙනවද එහෙමත් නැත්නම් වෙන තැනක් හොයාගෙන ගිහින් ආයිත් වද බඳිනවද කියලා කල්පනා කරන්න තරම් අපිට දැනුමක් අවශ්‍යතාවක් තිබුනෙ නෑ. නමුත් පහු වෙනකොට මී මැසි පාලනය කියන සංකල්පයත් එක්ක අපේ මිනිස්සුත් මේ මී මස්සන්ව පෙට්ටියකට දාගෙන උන්ට කරදරයක් නොකර පැණි ගන්න පුරුදු උනා. 


අදටත් අපේ මිනිස්සුන්ට මී පැණි කිව්වම මතක් වෙන්නෙ මේක බෙහෙතක් කියන කාරණය. මේ නිසා ලංකාවේ ගොඩක් ගෙවල් වල පැණි බෝතල් කාලක් වත් අඩුම ගානෙ තියෙනවා. පොඩි තුවාලයක් උනොත්, තොල හපුනොත්, එහෙමත් නැත්නම් මොකෙක් හරි සතෙක් කෑවොත් මී පැණි ටිකක් ගැන එක අදටත් සමහර ගම්වල කෙරෙන දෙයක්. මේ හින්ද පොඩි කාලෙ පෙරේතකමට මී පැණි බෝතලේට හොට දාල තිබ්බොත් අම්මගෙන් ගුටිත් කාපු වාර නැතුවමත් නොවෙයි. 


මේ ඔක්කොම අතරේ අපි නිතර ඇහැට දකින, නමුත් වැඩි අවධානයක් දෙන්නෙ නැති කට්ටියකුත් හිටියා. ඒ තමයි කනෙයියා. ගෙදර තියෙන මඩුව හදල තියන උන කණුවක් අස්සේ, මුනින් අතට නමල තිබ්බ පරණ මුට්ටියක් අස්සේ, බිත්තියේ තිබ්බ ගුලක් අස්සෙ, එහෙමත් නැත්නම් ගෙදර විදුලි මීටරේ අස්සේ කනෙයි වදයක් නැති ගෙයක් තිබුනෙ නැති තරම්. රස්නේ වැඩි වෙනකොට එලියට ඇවිත් කැරකෙන කොට එතනින් යන්න බැරුව දෙස් දෙවොල් තියපු වාරත් අනන්තයි අප්‍රමානයි. කනෙයියා කන අස්සේ රිංගනවා කියල වැඩිහිටියෝ කියල තිබ්බ නිසා කන වහගෙන ඒ තැන වලින් දිව්වත් මතකයි. හදිස්සියේ වත් මඩුව කඩා වැටිලා කනෙයි වදේ මතු උනොත්, උන බටේ පළල ඕකෙ තිබ්බ පැණි කාපු හැටිත් මතකයි. එහෙම අතීතයක් තිබුනා කියල මතක් වෙනකොටත් හීන් සතුටක් වගේම හීන් දුකකුත් දැනෙනවා අද කාලෙ ඉන්න දරුවන්ට මේ වගේ දේවල් අත්විඳින්න අවස්තාවක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් කියල හිතෙනකොට. 


කෙසේ වෙතත් මේ කනෙයි මැසි පාලනය කියන මාතෘකාව ලංකාවෙ එචර ජනප්‍රිය නෑ. ජනප්‍රිය නෙමෙයි එහෙම එකක් ගැන ලංකාවේ ඉන්න අය හිතලවත් නෑ කියල මට තේරුනේ මේ ගැන අන්තර්ජාලේ හොයන්න ගියාට පස්සේ. ගිය අවුරුද්ද වෙනකම් මමත් දැනගෙන හිටියෙ නෑ කනෙයි මැසි පාලනය කියල එකක් ලෝකේ තියනවද කියලවත්.  අපි හැමෝම මී මැසි පාලනය ගැන නම් ගොඩක් දේවල් අහල තිබුනත් එතනින් එහාට ගිය තවත් දේවල් තියෙනවා කියන එක අපි දැනගන්න ඕන. 


මට මේ ගැන හොයන්න හිතුනේ මට උන කරදරයක් හින්දා. ගිය අවුරුද්දේ මට අහම්බෙන් වගේ ඉන්දියාවේ කනෙයි මැසි පාලනය සම්බන්ධයෙන් තිබ්බ වීඩියෝවක් දකින්න ලැබුන. ආසාවට ඒ ගැන බැලුවත් කරන්න තරම් උනන්දුවක් තිබුනෙ නෑ. ඒ ගැන අදහස ඒ ගමන්ම හෙමින් සැරේ හිතින් මැකිලා යන අතරේ ජාතික රුපවාහිනියේ නුග සෙවන වැඩසටහනක ගියා මී මැසි පාලනය ගැන වැඩ සටහනක්. මේක දැකල ලොකු ආසාවක් හැදුන මම ඊළඟට ගියේ ගමේ තිබුන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට. ගිහින් ඇහුවම කෘෂිකර්ම උපදේශක මහත්තය කිව්වා මී මැසි පාලනයට එයාල උදව් කරනවය, පෙට්ටි අඩුවට දෙනවය, එකට අවශ්‍ය උපදෙස් දෙන්නම්ය යනාදී වශයෙන්. ඉතින් මමත් මොකෝ කලේ දඩි බිඩි ගාල පෙට්ටියකුත් අරන් ජනපදයක් හොයන්න පටන් ගත්ත මේකට දාගන්න. ඊට පස්සේ ගොවි සමිතියකුත් පිහිටුවා ගත්ත මේකටම. ඔය අතරේ තමා කොරෝනා ලංකාවට ඇවිත් ලොක්ඩවුන් උනේ. ඉතින් ජනපදයක් ගෙන්න හිටි දවසෙම මේක උන හින්ද ඒ වැඩේ ටිකකට නතර කළා. කරදර ඉවරවෙලා බලද්දී කොහෙවත් ජනපද හොයන්න නෑ. ඒ මේ අස්සේ ආරංචියක් ආව මොකක්ද ලෙඩක් හැදිලා ජනපද පිටින් මැරෙනවා ඒ හින්ද දැන් මී වදයක් හොයන එකත් ටිකක් අමාරු වැඩක් කියන එක. බැලින්නම් කතාව ඇත්ත. බෙහෙතකට වත් වදයක් හොයාගන්න නැති තරම්. 


හෙව්වා හෙව්වා දන්නා හැමෝටම කිව්වා. වැඩක් උනේ නෑ. කොච්චර කේන්තියක් හිතේ තිබුනද කිව්වොත් මී පෙට්ටිය කලා දරට ගන්නවා කියල හිතාගෙන හිටියෙ. ඔය අතරේ තමා ආපහු අහම්බෙන් මට කනෙයි පාලනය ගැන මතක් උනේ. තවත් හේතුවක් උනේ ඉස්සරහ ගෙදර මාමගේ පරණ මී පෙට්ටියක කනෙයියෝ රිංගල එකේ වදයක් හදාගෙන හැමෝටම වදයක් වෙලා ඉන්නවා කියල අහපු එක. ඒ ගමන් මේ සම්බන්ධයෙන් ටිකක් හොයල බලන්නත්, ලංකාවෙ මේ දේ තියනවද කියල හොයන්නත් පටන් ගත්ත. ඉන්දියාවේ, ඉන්දුනීසියාවේ, ඕස්ට්‍රේලියාවේ මේක ඉතාමත් විශාලව කලත් මෙච්චර කනෙයි වැඩ තියෙන ලංකාවෙ මේ ගැන හිතලවත් නෑ කියල දැන ගත්තම හිතට සැහෙන දුකක් ආව. මේක තවත් වැඩි උනේ අඳුනන නැන්ද කෙනෙක් වැටිලා කකුලෙ ඇටේ පුපුරලා මේකට බෙහෙත් වලට කනෙයි පැණි තියනවද කියල ඇහුවම. ඒ පාර මමත් මේක කරල බලන්න ඕන කියල හිතුනා. 


ලිපිය දිග වැඩි නිසා මම ඊළඟ එකෙන් කියන්නම් මම මෙතෙක් කල් හොයාගත්ත දේවල් සහ meliponiculture ගැන ඉගෙන ගත්ත දේවල්. මේක හරියටම කරන්න පටන් අරන් තවම මාසයක් තරම් වෙන හින්ද ලොකු දැනුමක් අත්දැකීමක් එහෙම නෑ. නමුත් වැරදි වැරදි හරි මේක කරගෙන නම් යනවා අනිවාර්යයෙන්. 


එහෙනම් ඊළඟ ලිපියෙන් හමුවෙමු.


ආයුබෝ වේවා....!!!   

2 comments:

  1. වෙදකම් වලට විතරක් නෙවෙයි . කනෙයි පැණි ගුරුකම් වලටත් ගන්නවා . වැඩේ කියන්නේ ඇත්තටම හොයාගන්න බැරි ප්‍රශ්නය තමයි තියෙන්නේ . ගුණාත්මක බව ගැන තියෙන විස්තර ඕන .

    ReplyDelete
    Replies
    1. ගුණාත්මක බව ගැන තමා දන්නෙ නැත්තෙ. මී පැණි ගැන තරම් විස්තර නෑ කොහෙවත්. වෙද මහත්තයෙක්ගෙන් තමයි අහන්න වෙන්නෙ. :-?

      Delete