Monday, October 29, 2012

අපි නොදන්න programming 5 - (HD VIDEO)

ඔන්න එහෙනම් තවත් විඩියෝ පාඩමක් අරගෙන ආවා . මේ අපේ විඩියෝ පාඩම් මාලාවේ තුන්වන කොටස. පෙර ලිපියට අදහස් උදහස් දැක්වූ හැමෝටම ස්තූතියි.


මෙවර පාඩමෙන් අපි කතා කරන්නේ Data types හා variables ගැන. මේ ගැන විස්තර කරන්න මම රූපසටහන් කිහිපයක් යොදා ගන්නවා. ඒවා මෙතනින් තවත් පැහැදිලිව බලන්න පුළුවන්. ඒ වගෙම වැඩසටහනෙදී variables සෑදීම, ඒවාට අගයන් ආදේශ කිරීම, හා වැඩසටහනකදී භාවිතා කරන ආකාරය ගැන සරල උදාහරණයකුත් ඉදිරිපත් කරනවා. එම උදාහරණයට අදාල source code එක මෙතනින් බලන්න පුළුවන්.
එහෙනම් වෙනදා වගේම අදත් ඹයාලගෙ අදහස් උදහස්, යෝජනා චෝදනා ලියලා යන්න අමතක කරන්න එපා.

//* සටහනක් ..
(මෙහි යෙදෙන ඉංග්‍රීසි වචන වලට අදාල සිංහල පාරිභාෂික වචන තියෙනවා. නමුත් ඒවා සාමාන්‍ය භාවිතයට යොදා ගැනෙන්නේ ඉතාම කලාතුරකින්. සමහර සිංහල පාරිභාෂික වචන තේරුම් ගන්නවාට වඩා ඉංග්‍රීසි වචනය තේරුම් ගන්න ලේසියි. ඒ වගේම මේ ක්‍රේෂත්‍රයෙන් ඉදිරියට යනවා නම් ඉංග්‍රීසියෙන් තමයි දැනුම ලබා ගන්න වෙන්නේ. මේ වගේ හේතු නිසා තමයි මේ පාඩම් මාලාවෙදි විෂයට අදාල වචන ඉංග්‍රීසියෙන්ම කියන්නේ. ඒ නිසා ඉංග්‍රීසි කෑලි දාලා සිංහල භාෂාවට හානියක් කරනවා කියලා හිතන්න එපා ) */

ඊළග පාඩමෙන් නැවත හමුවෙමු. අපි ඊළඟ පාඩමේදි කතා කරන්නේ operators ගැන.

෴ අංජන කසුන්.

Tuesday, October 23, 2012

ජයවේවා Techකතා

ගොඩක් දවසකට පස්සේ ඔන්න අද පෝස්ට් එකක් දාන තරම් වෙලාවක් හම්බ උනා. මෙච්චර දවසක් මම හිටියේ මගේ යාළුවා සහ ගුරුවරයෙක් වන අන්ජනගේ ගෙදර. මගේ programing දැනුම මදි හින්ද ඒ ටික පොලිෂ් කරගන්න කියල මෙහෙ ආව. ඉතින් කොහෙද බ්ලොග් ලියන්න වෙලාවක් . කොහොමින් කොහොමින් හරි අන්තිමට යන්තම් වෙලාවක් හොයා ගත්ත මේක ලියන්න. 

අද පෝස්ට් එකේ මාතෘකාව දැක්ම තේරෙනවා ඇති මම ලියන්න හදන්නේ මොකක් ගැනද කියල. මෙතෙක් කලක් අහන්න උනේ නැති උනාට මෙහෙ ආපු දවස් ටිකේ පරණ ඒවත් එක්කම අහන්න හම්බ උනා. මොකදමගේ යාළුවා මේ වැඩසටහනේ ආරම්භයේ ඉදන් අහන කෙනෙක්. ඉතින් එක හින්ද මටත් වාසනාවක් හම්බ උනා එක අහන්න. ඇත්තටම මම අහපු , පරිගණක සහ අනෙකුත් තාක්ෂනය ගැන කියවෙන වැඩසටහන් අතරින් හොඳම එක මේක තමයි කියල මම මම නම් කියන්නේ . මේකේ කියවෙන ගොඩක් දේවල් අනෙක් වැඩසටහන් වල කතා නොකෙරෙන ගොඩක් දේවල් මේකෙන් කතා කරනවා. 

වැඩසටහන කෙරෙන සරල ආකාරය සහ පිළිවෙල මට නම් හිතට අල්ලලා ගියා. ගොඩක් වැඩසටහන් කරන අය පෙන්නන්න හදන්නෙ ඒ අය ඔක්කොම දන්නවා සහ තමන් තමයි professional කියල . ඒත් Techකතා කරන කට්ටිය එහෙම නැහැ. දන්නේ නැත්නම් දන්නෙ නැහැ කියනවා. දන්නා දේ හොඳටම කියල දෙනවා. සාමාන්‍ය විදියට විහිලු කරනවා . ඉතින් මේක ඇත්තටම කියනවනම් ඉතාමත් සාර්ථකම reality වැඩසටහනක් විදියට තමයි මම දකින්නේ. 

Techකතා වලට ජයවේවා......! ඔන්න තවත් අසන්නෙක් ඔබලාට එකතු උනා.

Monday, October 22, 2012

අපි නොදන්න programming 4 - (HD VIDEO)

කලින් post එක බලපු හැමෝටම ස්තූතියි.  කලින් ලිපියෙන් පටන් ගත් විඩියෝ පාඩම් මාලාවේ දෙවනි කොටස  අද ඔයාලට ඉදිරිපත් කරනවා. නිකන්ම නෙවෙයි, 720p HD quality එකෙන්ම!  (සෑහෙන්න මඟ ඇර ඇර ඉඳලා අන්තිමට කම්මැලිකම අතඇරලා යන්තම් විඩියෝ එක Upload කලා.) වෙනදා වගේම මේ විඩියෝ එකටත් සෑහෙන්න උදවු කරපු ඇපල්ට මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනි. කලින් විඩියෝ එක කරනකොට පැය ගානක් try කරලා, දෙතුන් පාරක්ම record කරලා, සෑහෙන්න edit කරලා .... තමයි බලන්න පුළුවන් තරමට හදා ගත්තෙ. ඒත් මේසැරේ නම් එච්චර කරදර වෙන්නෙ නැතිව ඉක්මනට කරන්න පුළුවන් වුනා.



මේ විඩියෝ එකේදී අපි පෙර විඩියෝ එකේ ලියපු code එක ගැන කෙටි පැහැදිලි කිරීමක් මුලින්ම කරනවා. ඊටපස්සේ තමයි අද පාඩම පටන් ගන්නේ.

Eclipse (හෝ වෙනත් සමාන) IDE එකකින් programmer කෙනෙකුට ලබා දෙන පහසුකමක් ගැන අපි ඊළඟට කතා කරනවා. ඒ තමයි code ලියනකොට වැරද්දක් එහෙම වුනොත් එය හඳුනාගන්න IDE එක උදව්වෙන හැටි. Coding වලදී එක අකුරක්, තිතක්, කොමාවක් වෙනස් වුනත් සම්පුර්ණ වැඩසටහනම ක්‍රියා නොකරන්න පුළුවන්. අනෙක ඉතින් ටයිප් කරනකොට වරදින්නෙ නැත්තෙ කාටද?  ඒ නිසා මෙම පහසුකම ගොඩක් වැදගත් වෙනවා.

පරිගණක භාෂාවේ වචන keywords ලෙස හඳුන්වනවා. ඒවා භාවිතා කර codes ලියන පිලිවෙල (වින්‍යාසය) syntax ලෙසත් හදුන්වනවා. Keywords හෝ syntax වල සිදුවන වැරදි පමණයි IDE එකට හඳුනාගැනීමට පුළුවන්. වැඩසටහනේ ඇති සියලුම වැරදි හඳුනා ගැනීමට එයට හැකියාවක් නෑ. (ඒ නිසා වැරදියට code ලියන්න එපා. )

ඊළගට අපි ජාවා පරිගණක භාෂාවේදී Comments භාවිතා කරන ආකාරය ගැන විස්තර කරනවා. comments යොදන විදිය බොහෝ පරිගණක භාෂා වලට එක සමානයි.


ඉතින් මේ විඩියෝ එක ගැනත් ඔයාලගෙ අදහස් වෙනදා වගේම ලියලා යන්න. අපිට මේ දේ දිගටම කරගෙන යන්න ඔයාලගෙ අදහස් උදහස් ගොඩක් වටිනවා. අපේ අලුත් FB page   එක පැත්තෙ ගිහින් එන්නත් අමතක කරන්න එපා. එහෙම නම් තවත් විඩියෝ එකක් සමඟ නැවත හමුවෙමු.

෴ අංජන කසුන්

Saturday, October 13, 2012

අපි නොදන්න programming 3 - (VIDEO !)

කලින් ලිපියට ප්‍රතිචාර දක්වපු සියලුම දෙනාට බොහොම ස්තූතියි. මේ වතාවේ අත්හදා බැලීමටත් එක්කම විඩියෝ tutorial එකක් කරන්න හිතුවා. අපි විඩියෝ ටිකක් හදලා දාන්න ගොඩක් කල් ඉදන් කතා වෙවී හිටියත්  මේ පාර තමයි හදාගන්න පුළුවන් වුනේ. පුළුවන් තරම් ඉක්මණට විඩියෝ එක හදමු කියලා උනන්දු කරපු ඒ වගේම උදවු කරපු ඇපල්ටත් ස්තූතියි.




මේ විඩියෝ එකේදි අපි මුලින්ම කතා කරන්නේ ජාවා වැඩසටහන් සෑදීමට අවශ්‍ය මෘදුකාංග ලබාගන්නා ආකාරය ගැන. අවශ්‍ය මෘදුකාංග තමයි

1.      Java Development Kit (JDK) - ජාවා වැඩසටහන් සෑදීමට අත්‍යවශ්‍ය මෘදුකාංග සියල්ලම මෙහි ඇතුලත්. ORacal සමාගමේ වෙබ් අඩවියෙන් මෙහි අලුත්ම සංස්කරණය භාගත කරගන්න පුළුවන්. (ඔයාලාගෙ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන ජාවා සංස්කරණය තෝරාගැනීමට සැලකිලිමත් වෙන්න)

2.      Eclipse IDE - පරිගණක වැඩසටහන් සෑදීම පහසු කිරීමට භාවිතා කරන මෘදුකාංග වර්ගයක් තමයි Instigated Development Environment (IDE) ලෙස හඳුන්වන්නේ. මේ පාඩම් මාලාව සඳහා මම තෝරාගත්තේ Eclipse IDE එක. (මේ වෙනුවට Netbeans හෝ වෙනත් ඔබ කැමති IDE එකක් වුනත් යොදාගන්න පුළුවන්)

Eclipse IDE එක භාවිතා කර JAVA project එකක් සෑදීම ආරම්භ කරන හැටිත්, සරල ජාවා වැඩසටහනක් ලියා, එය ධාවනය කර එහි ප්‍රතිථලය ලබා ගන්නා හැටිත් විඩියෝ එකේදී විස්තර කරනවා. විඩියෝ එකේදී සාදන ජාවා වැඩසටහනේ source code එක මෙතනින් ගන්න පුළුවන්.

මේක අපේ මුල්ම විඩියෝ එක නිසා අඩුපාඩු එහෙම තියෙන්න පුළුවන්. Recording කරපු දවසෙ මම ටිකක් අසනීප වෙලා හිටිය නිසා මගේ කටහඬත් මටම අඳුරගන්න බෑ වගේ. ඉතින් මේ විඩියෝ එක ගැනත් ඔයාලගෙ අදහස් වෙනදා වගේම ලියලා යන්න. අපිට මේ දේ දිගටම කරගෙන යන්න ඔයාලගෙ අදහස් උදහස් ගොඩක් වටිනවා.
එහෙම නම් තවත් විඩියෝ එකක් සමඟ නැවත හමුවෙමු.

෴ අංජන කසුන්

Thursday, October 11, 2012

රෝස මලේ


රෝස මලේ නටුවේ කටු 
කියලා ඉගෙන ගත්තේ 
පොඩි කාලෙමයි
ඒත් 
කව්ද දැනගෙන හිටියේ 
ඒවා ඇනුනම
ගොඩක් රිදෙනව කියල
ඒත් එහෙම රිදුන කියල
රෝස මලේ සුන්දරබව 
විඳින්න තහනම් නෑනෙ.....

(මේ දවස් වල හැම තැනම ඇවිදින හින්ද පොස්ට් එකක් දාන්නවත් වෙලාවක් හම්බ උනේ නෑ. පුළුවන් හැම වෙලාවේම ඔයාලගේ පොස්ට් කියවන්න බලන්නම්. )