සිද්ධ උන සිදුවීම් නම් බොහොමයි. ඒ උනාට ඔක්කොම එක පාර බැහැනේ. ටික ටික ලියන්නම්. අද ලියන්න යන්නේ කාලයක් තිස්සේ මට මතුවෙන ප්රශ්නයක් ගැන. මේකට විසඳුමක් හොයන එක නම් සෑහෙන අමාරු වැඩක්. එක පැත්තක් ගැන විතරක් හිතල නම් විසඳුමක් ලබාගන්න පුළුවන්. එත් අපි ජීවත් වෙන හැටියට එහෙම කරලා ගන්න විසඳුම් සාර්ථක නැහැ.
අපි හැමෝම ඉපදෙනවා. ඊට පස්සෙ ඉස්කෝලේ යනවා.සමහර අය උසස්පෙළ එහෙම සමත් වෙලා සරසවියට යනවා.එහෙම නැති අය මොනවා මොනවා හරි කරලා රස්සාවක් හොයා ගන්නවා. ඇත්තටම ඉගෙන ගැනීමේ අවසාන පරමාර්ථය රැකියාවක් සොයා ගැනීම තමයි. ඊට පස්සෙ විවාහ වෙනවා. දරුමල්ලෝ හදනවා. වයසට යනවා. මැරෙනවා. අපේ රටේ ඉන්න ගොඩක් අයගේ ජීවන රටාව මේක තමයි. මීට වඩා වෙනස් විදියක් ඇත්තෙම නැද්ද?
මේ දවස් වල සිංදුවා රස්සාවට යන හින්දා කියන කතා වලින් රස්සා වල තරම හිතා ගන්න පුළුවන්. උදේම යනවා, කැන්ටිමට ගිහින් කනවා, වැඩ පටන් ගන්නවා, දවල්ට ආයිමත් කනවා, වැඩ කරනවා, හවසට ගෙදර එනවා, කනවා, නිදා ගන්නවා, උදේ නැගිටිනවා යනාදී වශයෙන් හැමදාම ඒකාකාරී ජීවන රටාවක්. මීට වඩා වෙනස් ක්රමයක් තියනවද? අපේ රටේ හැටියට වෙන ක්රමයක් නැද්ද?
ඔහොම හිතාගෙන යනකොට ඇයි මිනිස්සු සසර ගැන කලකිරිලා මහන වෙන්නේ කියලා අවබෝධ උනා. එහෙම කරන්නත් සෑහෙන හිතේ හයියක් තියෙන්න ඕන. මම කියන්නෙ ලැබ සත්කාර බලාපොරොත්තුවෙන් හෝ ක්ෂණික කලකිරීමක් හින්දා මහන වෙලා ටික කලකින් ආයිමත් ගිහි වෙන අය ගැන නොවෙයි.සැබෑ ලෙසම කලකිරිලා අවබෝධයෙන් මහන දම් පුරන්න එකතු වෙන අය ගැන. ගොඩක් අය මේ වගේ තීරණයක් ගන්න බැරුව කලකිරීමෙන්ම ජීවිතේ ගෙනියනවා.
මට පහුගිය අවරුදු කිහිපය තුල සෑහෙන්න දේවල් ඉගෙන ගන්න පුළුවන් උනා. ඒ බොහොමයක් දේවල් මිනිස්සු ගැන. මිනිහගේ හිත කොච්චර වෙනස් වන සුළුද කියන එක ගැන හොඳ තේරුමක් තියනවා දැන් නම්. ජීවිතේ සමහර පැති ගැන වෙනස්ම ආකාර වලින් බලන්නත් මට පුළුවන් උනා. එහෙම නිසා මගේ ඉස්සර තිබුන සමහර නොගැලපෙන ගති පැවතුම් පවා වෙනස් කරගන්න පුළුවන් උනා. ගොඩක් මිනිස්සු ජීවිතේ කියල ගත කරන්නෙ කිසිම හරයක් නැති, වටිනාකමක් නැති මහා පුස් දෙයක් කියන එක දැන් මට තේරෙනවා.
මෙකෙන කියන්නෙ හැමෝම මහන වෙන්න ඕන කියන එක නෙමෙයි. මම තවමත් බොහොම විනෝදෙන් ඉන්න කෙනෙක්. මගේ යහළු මිත්රයින් ඒ ගැන දන්නවා. සමාජෙ ඉන්න මිනිස්සු එකිනෙකාට වෙනස් හින්ද ජීවිතේ දිහා බලන ආකාර විවිධයි. මගේ කෝණය සමහර අයට විහිළුවක් වෙන්නත්, සමහර අයට බැරෑරුම් දෙයක් වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඒ ගැන ඉතින් කරන්න දෙයක් නෑ. මිනිස්සු විවිධාකාරයි නේ....
ඔහොම කියාගෙන යනකොට වෙනස්ම ආකාරයේ ජීවිත ගෙවන අයත් අපි අතරේම ඉන්නවා. මගේ මිතුරෙක් ඉන්නවා ඔහු තවම විවාහ වෙලා නැහැ. දැන් වයස 42ක් විතර වෙනවා මට මතක හැටියට. නමුත් විවාහ නොවුනා කියලා ඔහු කිසිම විදියකින් දුක් වෙන්නේ නැහැ.බොහොම විනෝදෙන් ඉන්නවා. තමන් කැමති තැනක යනවා. වෘත්තියෙන් නිවාස සැලසුම් ශිල්පියෙක්. ඒ අතරේ හැම දහම් කටයුත්තකටම සම්බන්ධ වෙනවා. ඒ ඔහුගේ ජීවිතය. ඔහු කියන්නෙ ජීවිතේ බැඳීම් නැති හින්ද හරිම සැහැල්ලුයි කියල. ඒත් සමහර අය නම් කියනවා ඔහොම ජීවත් වෙලා ඇති පලේ මොකක්ද කියල. ඒ උනාට ඒ ඔහු කැමති ජීවිතය.
මට නම් සමහර වෙලාවට මෙන්න මෙහෙමයි පේන්නෙ.
ජීවිතේ කවියක්
ආදරේ....සොඳුරුතම වදනක්.
කඳුලැලි බිඳක්...හසරැලි පොදක්...
එකට එක්වූ විට දැනේ...
පෙර නොවිඳි රසයක්