Monday, September 22, 2014

අත්තම්මලාට දානයක් දුනිමි.

හැම අවුරුද්දෙම අපේ ගෙදර අය වැඩිහිටි නිවාසෙකට දානයක් දෙනවා. බොහෝ කාලයකට පෙර මියගිය අපේ ආතා ට සහ මව් පිය පාර්ශවයන්ගේ මියගිය ඥාතීන්ට පිං පැමිණවීමේ අරමුණින් තමයි මේක කරන්නෙ. හැම අවුරුද්දෙම සැප්තැම්බර් 18 වෙනිදට අපි සියලුම කළමනා අරගෙන වැඩිහිටි නිවසට යනවා. මේ පාරත් ඒ සඳහා මම සහභාගී උනා. මේ තමයි එහි මතක සටහන්.



මේ ඉන්න ආතම්මලා ඔක්කොම විවිධ හේතු හින්ද මෙතනට ආපු අය.සමහර අය මට හොඳට මතකයි. ඒ මොකද මම පොඩි කාලෙ ඉඳලම මේකට යනවා. සමහර අය ඒ කාලේ ඉඳන්ම මේකේ ඉන්න අය. උඩින් තියන පින්තුරේ තියෙන්නෙ කට්ටිය වැඩිහිටි නිවාසෙ සාලෙට එක් රැස් වෙලා ඉන්න ආකාරය. මෙහෙම ඉන්නෙ දවල්ට මල් පුජා කිරීමට සහ පිං පැමිණවීමට. දානය ගෙන හැම අවස්ථාවකම මේ හැමෝම මේ විදියට රැස් වෙනවා. ඊට පස්සෙ මල් පුජා කරලා දෙවියන්ට සහ පැමිණිලා ඉන්න අයගේ මියගිය ඥාතීන්ට පිං පමුණුවනවා. 

ඉදිරියෙන් පෙනෙන කොරිඩෝරය දිගේ ඉස්සරහට ගියාම තමයි කෑම කාමරය හමුවන්නේ. මේ ඔවුන් එක් එක් ආතම්මගේ පිඟන් වලට කෑම බෙදන්න සුදානම් වන වෙලාව. මේ ඉන්න දෙන්න තමයි ඒක භාරව කටයුතු කරන්නෙ. අපිට ඒ වැඩේ කරන්න දෙන්නේ නෑ. හේතුව ඒ ඒ අය කන සහ නොකන ජාති, කන්න නුසුදුසු දේවල් ගැන දන්නෙ මේ අය විතරයි. 



අපි ගෙනිච්චා පරිප්පු, මාළු, කට්ට සම්බෝල, කරවිල මාළුව සහ පපඩම්. 

"  කට්ට සම්බෝලේට නම් කට්ටිය කැමති වෙයි මහත්තයා. මේවා හැමදාම ගේන්නෙ නැහැනේ. මෙහෙ ඉන්න ගොඩක් අය පරිප්පු කන්නෙ නෑ දැන්. "

මෙතන හිටපු එක අත්තම්ම කෙනෙක් කිව්වා. ඊට පස්සෙ අපි ගෙනිච්ච පපඩම් මල්ල දිග ඇරලා බැලුව. 

" මේ මොනවද මහත්තයා මේ? බෝල බෝල වගේ තියෙන්නෙ? "
" ඕවට කියන්නෙ බිත්තර පපඩම් කියල... "
" අනේ ඒවායේ හැටි? මම හිතුවේ බිත්තර කියල.. "

අත්තම්ම හිනා උනා. 

අපේ තාත්තගේ අදහස පිට තමයි ඒ පපඩම් ජාතිය හදාගෙන ගියේ. ඒවා තෙලට දැම්මම බිත්තරේ වගේ පිම්බෙන හින්ද බිත්තර පපඩම් කියලයි කියන්නෙ. හැමදාම එකම ජාති කන්න හම්බ වෙන හින්ද වෙනසකට කියල තමයි ඒවා හදාගෙන ගියේ. 

කෑම බෙදල ඉවර උනාම සීනුව නාද කරනවා.එතකොට හැමෝම එනවා කෑම කාමරේට. ඊට පස්සෙ තමන්ට මෙම දානය ලබාදුන්නට නැවත පිං පමුණුවනවා. ප්‍රධාන කොටස බුදුරදුන්ට පුජා කරනවා.

                                   ඔය හිටගෙන ඉන්නෙ ඇපල් ගේ මව සහ පියා.

කෑම කන අස්සේ සමහර අය පපඩම පැත්තකට කරලා. 
" ඇයි අත්තම්මේ මේවා කන්නෙ නැද්ද? "
" මම බිත්තර කන්නෙ නෑ මහත්තයා. "
" මේවා බිත්තර නෙමෙයි පපඩම්. බලන්නකෝ පොඩි කරලා...."
" අනේ මම හිතුවේ බිත්තර කියල. "
මෙහෙම කියල ආපහු කන්න පටන් ගත්ත.

කරවිල මාළුව ගෙනිච්ච ටික ඔක්කොම ඉවර උනා. රසයි කියා කියා කට්ටියම කෑවා.අපේ අම්ම කරවිල උයනවා තිත්ත නැති වෙන්න. ඒ හින්ද වෙන්න ඇති.අනික ගොඩක් වෙලාවට හැමෝම ගේනවා ඇත්තේ පරිප්පුයි අරවයි මේවයි නේ. මේ වගේ කෑම ජාති ගේනවා අඩු ඇති.


මේ ඔක්කොම ඉවර වෙලා අපි ගෙනාපු චීත්ත ටික අපි මේ අයට පුජා කළා. 


 අලුත් චීත්ත දැකපු මේ අයට හරිම සන්තෝස හිතුනා. ඒ මේ අස්සේ අර කෑම බෙදන්න හිටපු අත්තම්ම අපේ තාත්ත ගාවට කිට්ටු වෙලා රහසින් මෙහෙම කිව්වා.

" මහත්තයා ඕව පුළුවන් නම් කට්ටියට දැන්මම අන්දවන්න. නැත්තම් පාලක මණ්ඩලේ අය ඇවිත් ඕව අරගෙන යනවා. ඊට පස්සෙ ආයිමත් ඕව හම්බ වෙන්නෙ නෑ"

මේක අහල අපි ඔක්කම එක්ක වැඩේට එන්ටර් උනා. ඇන්දුවා කට්ටියටම චීත්ත ටික ඒ වෙලාවේම.

          ඔය වම් පැත්තෙන් සාරිය ඇඳන් ඉන්නෙ අපේ කිරි අම්මා.

ඔයාලටම පේනවා ඇති මේ අය කොච්චර සන්තොසෙන්ද ඉන්නෙ කියල.  ඔය අතරේ තවත් අත්තම්ම කෙනෙක් මට කිට්ටු උනා. 

"වැඩක් නෑ මහත්තයා ඕව අරගෙන යනවා ඇවිල්ල. හැමදාම එහෙමයි.  "
"ඒ උනාට ඕව ඇන්දට පස්සෙ අරන් යන එකක් නෑ.... "
මම කිව්වා.
"ඒ උනාට වැඩක් නෑ ඕව අරන් යනවා...  "
"එහෙනම් අත්තම්මේ මෙහෙම කරන්න. ඔකේ කුණු ටිකක් ගාන්න.එතකොට අරන් යන එකක් නෑ.  "
"හැබෑටම එහෙම කළා නම් හරි තමයි.   මහත්තයත් හරි කතා තමයි කියන්නෙ. "
මෙහෙම කියල කට්ටිය හිනා උනා.

ඉතින් මගේ ජංගම දුරබනනේ අරන් වටේ කරකැවෙනකොට තව අත්තම්ම කෙනෙක් කිව්වා 
"ඔන්න මේ මහත්තයා පොටෝ එකක් ගන්න හදන්නේ. එන්න එන්න "
කියල ලග හිටපු තමන්ගේ යාළුවව ලඟට ඇදලා ගත්ත.



වම් පැත්තේ ඉන්න අත්තම්ම හරි සුහදයි. එයා නිකම් ඉන්න වෙලාවට පුටු කවර ගොතනවා වූල් වලින්. හරිම ලස්සනයි. මට හදල තිබ්බ ගොඩකුත් පෙන්නුවා. හැමෝම අලුත් චීත්ත ඇඳගෙන හරි සන්තෝසෙන් හිටියේ. 

එන්න ලැහැස්ති වෙලා මම හැමෝටම වැන්දා. ඒ හැම කෙනෙක්ම විව්ධාකාරයෙන් ආශිර්වාද කළා. ඒ අය එහෙම කලේ තමන්ගේ හදවතින්ම කියන එක මට හොඳට තේරුනා. ඒ අයට තමන්ගේ දරුවන් මුණුපුරන් මතක් වෙනවා ඇති අපිව දැක්කම. එක අතකට දුකත් හිතෙනවා. ඒ උනාට මෙතන ඉන්න අය බොහොම සතුටින් එකිනෙකාට උදව් කරගෙන ඉන්නවා. සමහරවිට තමන්ගේ ගෙදර අපායේ ඉන්නවට වඩා මෙහෙ හොඳයි කියල හිතන අයත් ඉන්නවා ඇති. සමහරවිට තමන්ගේ දරුවන් තමන්ට මෙහෙම කලේ ඇයි කියල දුක් වෙන අයත් ඇති. එත් මොනවා කරන්නද. ඕක තමයි ජීවිතේ හැටි.