අපි හැම කෙනෙක්ම ඉපදුන දවසේ ඉඳලම කරන්නෙ ඉගෙනගන්න එක. මුලින්ම අම්ම දිහා බලල ඉගෙන ගන්නවා.ඊට පස්සේ තාත්ත දිහා බලල ඉගෙන ගන්නවා. ඊට පස්සෙ විවිධාකාර මාර්ග ඔස්සේ අපේ දැනුම පිරෙන්න පටන් ගන්නවා. මේ දැනුම තමයි අපේ ජිවිතේ තීරණය කරන ප්‍රධානම සාධකය වෙන්නෙ අද කාලෙ. ඉස්සර නම් කැලේ කොටලා හේනක් වවාගත්තොත් ඔක්කොම හරි. ජිවත් වෙන්න අවශ්‍ය අවම දේවල් ටික තිබුනානම් කිසි කරදරයක් නැතුව ජිවත් වෙන්න ඒ කාලෙ පුළුවන් කම තිබුන. නමුත් ලෝකෙ දියුණු වෙන්න දියුණු වෙන්න අපේ අවශ්‍යතාත් ටිකෙන් ටික වැඩි වෙන්න , සංකීර්ණ වෙන්න පටන් ගත්ත.
මේ හින්ද 5 වසරේදී අපිට ශිෂ්‍යත්වේ ලියන්න උනා. 11 වසරට එනකොට සාමාන්‍ය පෙළ ලියන්න උනා. 13 වසරේදී උසස් පෙළ ලියන්න උනා. අන්තිමට කියපු විභාගෙ තමයි දැනට ළමෙක්ගෙ ජිවිතේ තීරණය කරන ප්‍රධානම කාරණය වෙලා තියෙන්නේ. මේකෙන් ගොඩ යන්න බැරිවුනොත් ජීවිතෙන් බාගයක් ඉවරයි. ඊට පස්සේ සමාජේ ඒ ළමය දිහා බලන්නෙත් අමුතු විදියට. ගෙදරින් කොච්චර නම් බැනුම් අහන්න වෙනවද? තවත් සමහර යමෙක දරාගන්න බැරුව ජීවිතෙත් නැති කර ගන්නව. මේ පාර උසස් පෙළ සමත් වෙන්න බැරිවුණා සිසුවෙක් සියදිව් හානි කරගත්ත කියල අහන්නත් ලැබුන.
ඇත්තටම උසස් පෙලින් සමත් වෙන්න පුළුවන් උන ළමෙක්ට , ඒ කියන්නේ ඕනෑම විෂය ධාරාවකින් S 3ක් ගන්න පුළුවන් නම් ඒ ළමයට උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් තියනව. නමුත් ලංකාවේ තත්වය එහෙම නෙමෙයි කියල හැමෝම දන්නවා ඇති. සමත් වෙන සිසුන්ගෙන් කියෙන් කී දෙනාටද විශ්ව විද්‍යාලයකට ගිහින් ඉගෙන ගන්න හම්බ වෙන්නේ? තමන්ට කැමති අංශයක් ඔස්සේ ඉගෙන ගන්න ලැබෙන්නේ බොහොම අතලොස්සකට විතරයි. ඉතුරු වෙන අය පුළුවන් පුළුවන් විදියට තමන්ගෙ අනාගතේ හදා ගන්නව. මුදල් තියන අතලොස්සක් පිටරටවල ගිහින් උපාධිය සම්පුර්ණ කරගන්නව. තවත් ටික දෙනෙක් කොහොම හරි තියන දේවල් විකුණලා හරි පෞද්ගලික ආයතනයකින් උපාධිය ගන්නවා.ඉතුරු ය මොනවා කරනවා ඇද්ද?
මේ විදියට ඉතුරු වෙන අයට යන්න පුළුවන් උන ක්ෂේම භූමියක් තිබුන. ඒ තමයි විවෘත විශ්ව විද්‍යාලය. මේක දුරස්ථ අධ්‍යාපනය අපේ රටේ ප්‍රචලිත කිරීමට ඇති කරපු එකම ආයතනය. මෙහි ඉංජිනේරු , ස්වභාවික විද්‍යා සහ කළමනාකරණ කියල පීඨ තුනක් තියනවා. සාමාන්‍යයෙන් කියන්නේ රැකියා කරන අයට තමන්ගෙ සුදුසුකම් වැඩිදියුණු කරගන්න දෙන උදව්වක් දෙන තැනක් කියල. එහෙම උනත් එතනට ගියාම තේරෙනවා එක එහෙම කරන්න ලෙහෙසි නැහැ කියල.
මමත් ඔතනට ගියේ මට ඉංජිනේරුවෙක් වෙන්න පොඩි කාලෙ ඉඳලම දැඩි ආසාවක් තිබුන හින්ද. උසස් පෙලින් සමත් උනත් මොරටුව කැම්පස් එකට වත් පේර කැම්පස් එකටවත් යන්න වාසනාව නැතිවුනා. අනික මට උවමනාව තිබුනේ පරිගණක ඉංජිනේරුවෙක් වෙන්න. ඉතින් මම ගියා විවෘතෙට. ගියාම තමයි දැක්කේ මම වගේ තවත් සෑහෙන පිරිසක් එතන ඉන්නව කියල. හරි සතුටු හිතුන.මට ඕන තැනට යන්න දැන් පාර හොයාගෙන ඉවරයි කියල තේරුනාට පස්සේ ඇතිවුන සතුට වචන වලින් කියන්න බෑ.
නමුත් දැන් ඒ බලාපොරොත්තුව ටිකෙන් ටික ගිලිහිලා යනවා වගේ මට දැනෙනව. අපිට ගොඩ එන්න තිබුන විවෘතයට යනකොට ගේට්ටු වහලා...අපිට වාඩි වෙලා වැඩක් කරන්න තිබුන bench ඔක්කොම ගලවල දාල. දැන් දුරක ඉඳන් එන සිසුවෙකුට හදිස්සියකට පැවරුමක් කරගන්න තැනක් නෑ. පහසුකම් නැතිකම හින්දම පිටින් ලෑලි ගෙනත් හදල තිබුන ඔක්කොම බංකු එක රැයක් එලි වෙනකොට අතුරුදන් වෙලා. බලන්න දුකයි. ඒ විතරක් නම් කමක් නැහැ. අපිට බිම ඉඳගෙන උනත් ඉගෙනගන්න පුළුවන්. මොකද මෙතන ඉන්නේ 95% ක්ම බොහොම දුප්පත් අය . ඒත් අධ්‍යන ගාස්තු 40% කින් වැඩි කරනවා කිව්වම ? මොන තරම් පාහර වැඩක්ද? මගේ මිත්‍රයන් සිටිනවා කුලී වැඩ කරලා මේකේ ගාස්තුව ගෙවන අය. ඒ අය මොකද කරන්නේ ?
දැනට සාමන්‍යයෙන් අවසන් වසර සිසුවෙක්ට වසරකට ගෙවන්න වෙන්නේ උපරිමයෙන් 30000 ක් පමණ මුදලක්. මේ තියෙන්නේ උපාධියෙ වටිනාකමින් 12%ක් පමණ. හිතල බලන්න අර තරමින් වැඩි වුනොත් කියක් ගෙවන්න වෙනවද කියල? මොකක්ද මේ කරන්න යන්නේ ?
ගොසිප් 9 එකේ දාල තියෙන ලිපියත් එහි කොමෙන්ටු ටිකත් බලල ඔබම තීරණය කරන්න. මේක ලියන්නෙ බොහොම සංවේගයෙන් සහ දුකින්. තව ලියන්න කරුණු තියෙනවා. ඊලග පොස්ටුවෙන් ඉතිරිය කියන්නම්.
අපේ විවෘතය රැකගන්න උදව් කරන්න.