Saturday, January 9, 2021

කනෙයියා - Maliponiculture - 02

 


ලංකාවෙ ජිවත් වෙන අපි නම් කනෙයියෝ ගැන අහල තියෙනවා ඕන තරම්. දැකලත් තියෙනවා. ලොව පුරා කනෙයියන් වර්ග ගණනාවක් ඉන්නවා. දැනට දල වශයෙන් ගත්තොත් වර්ග 500 කට එහා ගිය ගනනක් සොයාගෙන තියෙනවා. මේ ලිපිය ලියන අතරතුරත් තවත් කනෙයි ප්‍රබේධයක් සොයාගැනීමට යම්කිසි සම්භාවිතාවක් තියෙනවා. මිට හේතුව තමයි මෙතෙක් කල් කනෙයියන් ගැන ලොකුවට අධ්‍යනයක් සිදු කර නොතිබීම. ලෝකයේ වැඩිම අවධානයක් යොමු උන මී මැස්සන් ගැන නම් ඕන තරම් පරීක්ෂණ සහ අධ්‍යන කර තිබෙනවා. ඔවුන්ගේ චර්යා රටා, වැඩියෙන් සොයා යන මල් වර්ග, දේශගුණික තත්ත්ව බලපාන ආකාරය යනාදී විවිධ තොරතුරු ඉතාමත් පහසුවෙන් අන්තර්ජාලයෙන් හෝ ප්‍රදේශයේ සිටින කෘෂි උපදේශක මහතාගෙන් හෝ මහත්මියගෙන් ඇසුවහොත් දැනගන්න පුළුවන්. නමුත් පැණි එකතු කරන මේ කුඩා මැස්සා ගැන අපේ රටේ ඉන්න වෙද මහත්තුරු ඇරෙන්න වෙන කෙනෙක් ගෙන් නම් අහගන්න බැරිවෙයි.


ලංකාවෙ ඉන්න පැණි එකතු කරන මැස්සන් ප්‍රධාන වශයෙන් කොටස් 4 කට බෙදනවා.

                1. මී මැස්සා - Apis Cerana Indica

                2. බඹරා - Apis Dorsata

                3. දඬුවැල් මැස්සා - Apis Florae

                4. කනෙයි මැස්සා - Tetragonula Iridipennis


මේ වර්ග 4 ලංකාවේ පරාගනයට ඇති මහත් සේවාවක් කරන සතුන් වර්ග හතරක්. ඉතා විශාල ගස් , එහෙමත් නැත්නම් රූස්ස ගස් පරාගනය කරන්නෙ බඹරා. මේ අතරම දඬුවැල් මැස්සා සහ මී මැස්සා එකම ආකාරයෙන් අනෙක් මල් පරාගනය කරනවා. නමුත් මේ තුන් දෙනා සලකල බැලුවම මේ තුන් දෙනාටම කරදරයක් උනාම විදිනවා. මේ ගැන නම් අපේ අය හොඳටම දන්නවා ඇති නේද? අපි විවිධ කතා අපේ වැඩිහිටියන්ගෙන් අහල ඇති. බඹරු 7 ක් කෑවොත් දෙබරවිස. දෙබරු 7ක් ඇන්නොත් නයි විස කියලයි අපේ පැරැන්නෝ කිව්වේ. මේවයේ ඇත්ත නැත්ත නම් කොහොමද දන්නෙ නෑ හැබැයි ඇත්තක් නැති වෙන්න නම් බැහැ. මී මැස්ස එන්නම නම් විත ඇඟේ ඇනිලා තියෙනවා. ඕක ගැලෙව්වේ නැත්නම් ඉදිමෙනවා. සමහර අයට මේ විත බොහොම සැරයි. ගොඩක් අමාරු වෙනවා. සමහර අයට නම් ගොඩ දෙනෙක් විද්දත් කිසි ගානක් නෑ පොල්තෙල් ටිකක් ගාගත්තම වැඩේ හරි. මට හොඳට මතකයි අපේ ලොකු මාමයි චූටි මාමයි මී කඩනකොට දවසක් එක මී මැස්සෙක් ඇහැ ගාවට විද්දා. මම ගෙදරට ආපු විදිය මතක නෑ ඒ තරම් වේදනාවක් දැනුනේ. හැබැයි දෙවෙනි තුන්වෙනි අය කනකොට වේදනාව ටිකක් අඩු උනා. මේ වගේ අත්දැකීම් තියෙන අය මේ කියවන අය අතරත් ඇති.


මේ විදියට කතා කරනකොට කනෙයි මැස්ස කියන්නේ අපේ පරිසරයට සහ ස්වභාව ධර්මයට ගොඩක් උදව් කරන සතෙක්. ශාක පරාගනය මගින් ගස් වල වල පැතිරීමට විශාල උදව්වක් කරන පුංචි සතෙක්. නමුත් මේ කනෙයි මැස්සා ගැන අපි දන්නෙ ඔච්චරද කියල මට හිතුනේ මේ ගැන හොයන්න පටන් ගත්තට පස්සේ. අහම්බෙන් මේ ගැන Youtube එකේ වීඩියෝ එකක් දැක්කට පස්සේ සිංහලෙන් මේ ගැන ලියවුනු ලිපි හොයන්න පටන් ගත්ත. නමුත් කියන්න දුකයි මට ලිපි දෙකයි මේ ගැන කියවන්න ලැබුනේ. පර්යේෂණ මට්ටමෙන් ලංකාවෙ කනෙයි මැස්ස ගැන කරල තියෙන දෙයක් ඇත්තෙම නැති තරම්. මම ඒ ලිපි දෙකට link දෙකක් පහලින් දාන්නම්. 


DIVERSITY OF STINGLESS BEES (HYMENOPTERA: MELIPONINI)  IN SRI LANKA

First record of a tear-drinking stingless bee from the central hills of Sri Lanka


මේ ලිපි දෙකෙන් යම් විද්‍යාත්මක දැනුමක් ලබාගන්න පුළුවන් උනත් කනෙයියන් ගෙ හැසිරීම, ආහාර රටා, ජනපද සොයාගන්නෙ කොහොමද, ජනපදයක් සොයගත්තම කොහොමද මේක පෙට්ටියකට හෝ උණ බම්බුවකට ගන්නෙ යනාදිය පිලිබඳ වෙනමම සොයන්න උනා. අපේ රටේ මේ ගැන උනන්දුවක් නැති උනත් ඉන්දියාව, මැලේසියාව, ඔස්ට්‍රේලියාව වගේ රටවල් මේක ඉතාමත් සාර්ථකව කරන්ගෙන යන ව්‍යාපාරයක් සහ ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් කියල ඔප්පු කරල තියෙනවා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ කනෙයි මැස්සන් ඇති කරන්නෙ සුරතල් සතුන් හැටියට. ඉන්දියාවේ සහ මැලේසියාවේ කනෙයි පැණි නිෂ්පාදනය ඉතාමත් සාර්ථකව කරනවා. ඒ නිසා ඉන්දියාවේ නිෂ්පානය කරපු වීඩියෝ ගොඩක් අපිට Youtube එකේ හොයාගන්න පුළුවන්. හැබැයි ගැටලුවකට තියෙන්නෙ මේ ගොඩක් ඒවා තියෙන්නෙ හින්දි, දෙමල හො මලයාලම් භාෂා වලින්. ඉතාමත් කලාතුරකින් තමයි ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන එකක් හොයාගන්න පුළුවන් වෙන්නෙ. ඉතින් හරිම අමාරුවෙන් තමයි මේ දැනුම මම හොයා ගත්තේ. ඒ කොච්චර දැනුම එකතු කරගත්තත් අපේ රටට සමහර දැනුම ගැලපෙන්නේ නෑ. ඒ නිසා ඒ පිලිබඳ වෙනමම පර්යේෂණ කරන්න වෙනවා. 


කනේයියා කියන සතා ඉතාමත් කුඩයි. සාමාන්‍යයෙන් ගත්තොත් 3mm වගේ දිග ප්‍රමාණය තියෙන, රංචු වශයෙන් ජීවත් වන සහ ඕනෑම පරිසර තත්වයක් යටතේ කිසිම අපහසුවකින් තොරව ජීවත් වෙන්න පුළුවන් සතුන් විශේෂයක් විදියට මුන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි කනෙයියා කියන සතා අපේ ගෙවල් වලත් බොහෝවිට දකින්න ලැබෙන සතෙක්. මම අහල තියෙනවා අපේ අම්මල කියනවා කනෙයි වද ගෙදර තියෙන එක අවාසනාවක් ලූ කියල. මේකෙ සත්‍ය අසත්‍ය නම් මම දන්නෙ නෑ දන්නා කෙනෙක් ඉන්නවා නම් පහලින් ඒ ගැන කොටාගෙන යන්න.


මේ උඩින් තියෙන්නෙ කනේයියගේ සමීප පින්තුර කිහිපයක්. ලඟට දැක්කම නම් ටිකක් බය හිතෙන මුණක් තියෙනවා. නමුත් මුන් ඉතාමත් අහිංසක සතුන් කොට්ඨාසයක්. (ඇවිස්සිලා නැත්නම්). මොවුන් පොදුවේ විත නැති මී මැස්සන්, එහෙමත් නැත්නම් Stingless bee යනුවෙන් හඳුන්වනවා. Dammar bee කියලත් සමහර අවස්ථා වල හඳුන්වනවා. අන්තර්ජාලයේ මේ ගැන හොයනවා නම් මේ නම් වලින් හොයල බලන්න. කනෙයියා කියල ගහල හෙව්වට මගේ ලිපියට අමතරව පත්තර වල ගිය ලිපි කිහිපයක් විතරයි සිංහලෙන් හොයාගන්න හම්බ වෙන්නෙ. ඉතින් මේ කනෙයියා කියන සත්ත්වයා ගැන ලෝකේ තවමත් පර්යේෂණ කරනවා. අද වෙනකොටත් කනේයියන් ගේ අලුත් විශේෂ හඳුනාගනිමින් පවතිනවා. විශ්වාස කරනවානම් කරන්න මම දැක්ක අප්‍රිකාවේ ඉන්න එක විශේෂයක් ඔවුන්ගේ ගෙවල් හදන්නෙ සතුන්ගේ මල පහ වලින්. දෙබර වදයක් තරමට විශාලව හදන කනෙයි විශේෂයක්. ඉතින් එයාලගේ පැණි ගැන තවත් කියන්න දෙයක් නෑනේ හරිම රස ඇති. 

ඉතින් කොහොමින් කොහොමින් හරි මමත් කනේයියන් ගැන අධ්‍යනය කරන්න පටන් ගත්ත. දැනට මගේ ගාව කනෙයි පෙට්ටි 3ක් තියෙනවා. මේවා හදල ගොඩක් කාලයක් නැති නිසා මට ඒවා ඇතුලත් කොහොමද කියල පෙන්නන්න බැරි උනත් ඉදිරියේදී මට ඒවා පෙන්නන්න පුළුවන් වෙයි. ඊළඟ ලිපියෙන් මම කියන්නම් මම අද වෙනකොට මේ ගැන ඉගෙනගෙන තියෙන්නෙ මොනවාද කියල. මේ ගැන හොඳටම අවබෝධයක් නොතිබුන නිසා තුන් පාරක් මගේ පෙට්ටි වල හිටපු කනේයියන් විනාස උනා. ඒ නිසා ඔයාලට මම කරපු වැරදීම් කියන්නම් ආපහු සිදු නොවෙන්න මට උන දේ ඔයාලටත්. 


ආයුබෝ වේවා....!!!


Thursday, November 5, 2020

කනෙයි මැසි පාලනය - Meliponiculture - 01

 



රූපය ගත්තේ මෙතනින්.

මී මැසි පාලනය... මේ අපේ වගාවන් ගැන, එහෙමත් නැත්නම් බෙහෙත් ගැන මතක් වෙනකොට ඔලුවට එන වචනයක්. ඉස්සර නම් මී මැස්සෝ පාලනයක් ගැන අදහසක් තිබ්බේ නෑ. කොහේ හරි ගස් දෙබලක හරෝ ගල් කුහරෙක හරි තිබ්බ එකක් දුම් ගහල හරි නැත්නම් වැඩ දන්නා අය නම් කොළ අත්තකින් පිහිදාල හරි වදේ කඩාගෙන එනවා. ඊට පස්සෙ පැණි ටික මිරික ගන්නවා. මේ ලඟක් වෙනකම් ලංකාවේ තත්වය ඔන්න ඕකයි. සමහර අය නම් පැණි වද ටික අරගෙන හකුරු වදයි පිළා වදයි ඔක්කොම එතනම දාල එනවා. තවත් අය ඔක්කොම ගෙනල්ල පැණි ටික මිරිකලා අරගෙන හකුරු වද ටිකත් කාල පිළා වදෙත් කනවා. මොකද පිළා වදේ කිරි රහ නිසා. සමහර අයට මේක අප්පිරියා උනාට, හේතුව පිළා වදයේ ඉන්නෙ මී මැසි බිත්තර වලින් එලියට ආපු පණුවෝ, මී වාදයකින් කිසිම දෙයක් අපතේ දාන්නෙ නම් නෑ කැලයේ යන අය නම්. 


මේ කොච්චර උනත් ඒ කාලෙ මේ වදේ ඉන්න මැස්සන්ට මොකෝ වෙන්නෙ කියල අපි කල්පනා කලේ නෑ. උන් මැරෙනවද එහෙමත් නැත්නම් වෙන තැනක් හොයාගෙන ගිහින් ආයිත් වද බඳිනවද කියලා කල්පනා කරන්න තරම් අපිට දැනුමක් අවශ්‍යතාවක් තිබුනෙ නෑ. නමුත් පහු වෙනකොට මී මැසි පාලනය කියන සංකල්පයත් එක්ක අපේ මිනිස්සුත් මේ මී මස්සන්ව පෙට්ටියකට දාගෙන උන්ට කරදරයක් නොකර පැණි ගන්න පුරුදු උනා. 


අදටත් අපේ මිනිස්සුන්ට මී පැණි කිව්වම මතක් වෙන්නෙ මේක බෙහෙතක් කියන කාරණය. මේ නිසා ලංකාවේ ගොඩක් ගෙවල් වල පැණි බෝතල් කාලක් වත් අඩුම ගානෙ තියෙනවා. පොඩි තුවාලයක් උනොත්, තොල හපුනොත්, එහෙමත් නැත්නම් මොකෙක් හරි සතෙක් කෑවොත් මී පැණි ටිකක් ගැන එක අදටත් සමහර ගම්වල කෙරෙන දෙයක්. මේ හින්ද පොඩි කාලෙ පෙරේතකමට මී පැණි බෝතලේට හොට දාල තිබ්බොත් අම්මගෙන් ගුටිත් කාපු වාර නැතුවමත් නොවෙයි. 


මේ ඔක්කොම අතරේ අපි නිතර ඇහැට දකින, නමුත් වැඩි අවධානයක් දෙන්නෙ නැති කට්ටියකුත් හිටියා. ඒ තමයි කනෙයියා. ගෙදර තියෙන මඩුව හදල තියන උන කණුවක් අස්සේ, මුනින් අතට නමල තිබ්බ පරණ මුට්ටියක් අස්සේ, බිත්තියේ තිබ්බ ගුලක් අස්සෙ, එහෙමත් නැත්නම් ගෙදර විදුලි මීටරේ අස්සේ කනෙයි වදයක් නැති ගෙයක් තිබුනෙ නැති තරම්. රස්නේ වැඩි වෙනකොට එලියට ඇවිත් කැරකෙන කොට එතනින් යන්න බැරුව දෙස් දෙවොල් තියපු වාරත් අනන්තයි අප්‍රමානයි. කනෙයියා කන අස්සේ රිංගනවා කියල වැඩිහිටියෝ කියල තිබ්බ නිසා කන වහගෙන ඒ තැන වලින් දිව්වත් මතකයි. හදිස්සියේ වත් මඩුව කඩා වැටිලා කනෙයි වදේ මතු උනොත්, උන බටේ පළල ඕකෙ තිබ්බ පැණි කාපු හැටිත් මතකයි. එහෙම අතීතයක් තිබුනා කියල මතක් වෙනකොටත් හීන් සතුටක් වගේම හීන් දුකකුත් දැනෙනවා අද කාලෙ ඉන්න දරුවන්ට මේ වගේ දේවල් අත්විඳින්න අවස්තාවක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් කියල හිතෙනකොට. 


කෙසේ වෙතත් මේ කනෙයි මැසි පාලනය කියන මාතෘකාව ලංකාවෙ එචර ජනප්‍රිය නෑ. ජනප්‍රිය නෙමෙයි එහෙම එකක් ගැන ලංකාවේ ඉන්න අය හිතලවත් නෑ කියල මට තේරුනේ මේ ගැන අන්තර්ජාලේ හොයන්න ගියාට පස්සේ. ගිය අවුරුද්ද වෙනකම් මමත් දැනගෙන හිටියෙ නෑ කනෙයි මැසි පාලනය කියල එකක් ලෝකේ තියනවද කියලවත්.  අපි හැමෝම මී මැසි පාලනය ගැන නම් ගොඩක් දේවල් අහල තිබුනත් එතනින් එහාට ගිය තවත් දේවල් තියෙනවා කියන එක අපි දැනගන්න ඕන. 


මට මේ ගැන හොයන්න හිතුනේ මට උන කරදරයක් හින්දා. ගිය අවුරුද්දේ මට අහම්බෙන් වගේ ඉන්දියාවේ කනෙයි මැසි පාලනය සම්බන්ධයෙන් තිබ්බ වීඩියෝවක් දකින්න ලැබුන. ආසාවට ඒ ගැන බැලුවත් කරන්න තරම් උනන්දුවක් තිබුනෙ නෑ. ඒ ගැන අදහස ඒ ගමන්ම හෙමින් සැරේ හිතින් මැකිලා යන අතරේ ජාතික රුපවාහිනියේ නුග සෙවන වැඩසටහනක ගියා මී මැසි පාලනය ගැන වැඩ සටහනක්. මේක දැකල ලොකු ආසාවක් හැදුන මම ඊළඟට ගියේ ගමේ තිබුන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට. ගිහින් ඇහුවම කෘෂිකර්ම උපදේශක මහත්තය කිව්වා මී මැසි පාලනයට එයාල උදව් කරනවය, පෙට්ටි අඩුවට දෙනවය, එකට අවශ්‍ය උපදෙස් දෙන්නම්ය යනාදී වශයෙන්. ඉතින් මමත් මොකෝ කලේ දඩි බිඩි ගාල පෙට්ටියකුත් අරන් ජනපදයක් හොයන්න පටන් ගත්ත මේකට දාගන්න. ඊට පස්සේ ගොවි සමිතියකුත් පිහිටුවා ගත්ත මේකටම. ඔය අතරේ තමා කොරෝනා ලංකාවට ඇවිත් ලොක්ඩවුන් උනේ. ඉතින් ජනපදයක් ගෙන්න හිටි දවසෙම මේක උන හින්ද ඒ වැඩේ ටිකකට නතර කළා. කරදර ඉවරවෙලා බලද්දී කොහෙවත් ජනපද හොයන්න නෑ. ඒ මේ අස්සේ ආරංචියක් ආව මොකක්ද ලෙඩක් හැදිලා ජනපද පිටින් මැරෙනවා ඒ හින්ද දැන් මී වදයක් හොයන එකත් ටිකක් අමාරු වැඩක් කියන එක. බැලින්නම් කතාව ඇත්ත. බෙහෙතකට වත් වදයක් හොයාගන්න නැති තරම්. 


හෙව්වා හෙව්වා දන්නා හැමෝටම කිව්වා. වැඩක් උනේ නෑ. කොච්චර කේන්තියක් හිතේ තිබුනද කිව්වොත් මී පෙට්ටිය කලා දරට ගන්නවා කියල හිතාගෙන හිටියෙ. ඔය අතරේ තමා ආපහු අහම්බෙන් මට කනෙයි පාලනය ගැන මතක් උනේ. තවත් හේතුවක් උනේ ඉස්සරහ ගෙදර මාමගේ පරණ මී පෙට්ටියක කනෙයියෝ රිංගල එකේ වදයක් හදාගෙන හැමෝටම වදයක් වෙලා ඉන්නවා කියල අහපු එක. ඒ ගමන් මේ සම්බන්ධයෙන් ටිකක් හොයල බලන්නත්, ලංකාවෙ මේ දේ තියනවද කියල හොයන්නත් පටන් ගත්ත. ඉන්දියාවේ, ඉන්දුනීසියාවේ, ඕස්ට්‍රේලියාවේ මේක ඉතාමත් විශාලව කලත් මෙච්චර කනෙයි වැඩ තියෙන ලංකාවෙ මේ ගැන හිතලවත් නෑ කියල දැන ගත්තම හිතට සැහෙන දුකක් ආව. මේක තවත් වැඩි උනේ අඳුනන නැන්ද කෙනෙක් වැටිලා කකුලෙ ඇටේ පුපුරලා මේකට බෙහෙත් වලට කනෙයි පැණි තියනවද කියල ඇහුවම. ඒ පාර මමත් මේක කරල බලන්න ඕන කියල හිතුනා. 


ලිපිය දිග වැඩි නිසා මම ඊළඟ එකෙන් කියන්නම් මම මෙතෙක් කල් හොයාගත්ත දේවල් සහ meliponiculture ගැන ඉගෙන ගත්ත දේවල්. මේක හරියටම කරන්න පටන් අරන් තවම මාසයක් තරම් වෙන හින්ද ලොකු දැනුමක් අත්දැකීමක් එහෙම නෑ. නමුත් වැරදි වැරදි හරි මේක කරගෙන නම් යනවා අනිවාර්යයෙන්. 


එහෙනම් ඊළඟ ලිපියෙන් හමුවෙමු.


ආයුබෝ වේවා....!!!   

Wednesday, October 21, 2020

කොරෝනා සමග ඇපල් ගේ නැවත ආගමනය


 

අවුරුදු පහකට පස්සේ ආයිත් බ්ලොග් එක පැත්තෙ ඇවිත් මොනවා හරි දාන්න හිතුන . කාලෙකින් කාගෙවත් බ්ලොග් එකක් බැලුවෙ නැති එකේ කම්මැලිකම යන්නත් එක්ක නිදහස් වෙලාවක මේකත් ආපහු පටන් ගත්ත නම් හොඳයි නේද කියල අද උදේ කොන්දට දාපු තෙල් පත්තුවේ පැය 3 මුනින් අතට ඉන්න ගමන් කල්පනා උනා . මොනවා උනත් ඉස්සර ආසාවෙන් කරපු දේ පහු වෙනකොට විවිධ කාර්‍යයන් හින්ද මග හැරුණත් කවද හරි නැවත පටන් ගන්න ඕන කියන අදහස නම් හිතේ කොනක තිබුන. අවසන් පොස්ටුව ලිව්වට පස්සේ ජිවිතේ සිදුවුන මහා වෙනස්කම් අතර මේ ආරම්භයත් හොඳ වෙනසක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. ලබන අවුරුද්දට බ්ලොගය පටන් අරන් අවුරුදු 10ක් වෙනවා. අවුරුදු 4ක් විතර ලිපි ලියල අත් හැරලා දාපු මේ ඇපල් කරත්තය ආපහු තල්ලු කරගෙන යන්න හිතුන එකත් වටිනවා කියල මට හිතෙනවා. ඒ දිනවල ලියූ දේ හා සසඳන විට අද වෙනකොට යම් වෘද්ධත්වයකින් ලිපි ලියන්න හැකි වේවි කියල හැඟීමක් හිත කොනක තිබුනත් මොනවා වෙවිද කියන්න අනාවැකි කීමට නොහැකි නිසා කරගෙන ගිහින්ම බලන්න තමා වෙන්නෙ 


කොරෝනා වසංගතයත් එක්ක වෙනස් උන ජීවන රටාව එක්තරා ආකාරයක වෙස්වලාගත් ආශිර්වාදයක් දෝ කියලත් හිතෙනවා. මිනිස්සු තමන්ට පුළුවන් විදියට ගෙවත්තෙ හරි ඉඩම් වල හරි ගෙවල් වල උඩ තට්ටුවේ හරි වවන්න පටන් ගත්ත . ඇපලුත් වවන්න ගත්ත නිකම් ඉන්න ගමන් අඳුනන මලයෙක්ගේ ඉඩමක් අරන් එකට එකතු වෙලා. ඒ දවස් වල හේන් කරන්නෙ කොහොමද කියලවත් නොදැන කැලේ එලි කරල සුද්ද කරල ඉනි හොයාගෙන ඉනි වැටවල් ගහල කාණු කපල පාත්ති දාල ටිකක පැලත් හිටෝලා ඉවර වෙනකොට කකුලට විසබීජයක් ගිහින් ඉස්පිරිතාලෙත් නතර වෙලා හිටිය . යන්තම් ටිකක් පලදාවත් ගත්ත. ඒ ඔක්කොම කලාට පස්සෙ තමා දැන ගත්තේ හරියට හිටවන විදිය සහ හේනක් කොටන විදිය. ඊට පස්සේ අපේ පරණ මිනිස්සුන්ගේ ළඟ තියෙන දේශීය දැනුම හොයන්න සහ ඒවා ඇත්තද කියල හරියටම පරීක්ෂණ කරල බලන්න පටන් ගත්ත. මේ ඔක්කොම කරන්න පුළුවන් උනේ කොරෝනා අපු නිසා ලැබුන නිදහසත් එක්ක. අතේ සල්ලි නැති උනත් මේ වැඩ නිසා හිතේ සතුට ලැබුන හින්ද හිතුන හැම කළු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියන කතාව මේ වෙලාවෙ කොච්චර නම් ගැලපෙනවද කියල. 


ඉස්සරහට අදහසක් තියෙනවා රටේ තියෙන දේශීය දැනුම එකතු කරල කට්ටියට බෙදල දෙන්න. මේ බෙදන අතරේ අද පරම්පරාවට ගැලපෙන විදියට මේවා විද්‍යාත්මකව ඔප්පු කරල සාක්ෂි සහිතව දෙන්න හැකි තාක් උත්සාහ කරන්න ඕනි. කාලය ලැබෙන විදියට තමයි ඉතින් මේවා ඔක්කොම කරන්න වෙන්නෙ. 


එහෙනම් ඇපල් කරත්තයත් අරන් මම ගියා ඕං...... ආයුබෝ වේවා....!!! 



Thursday, November 19, 2015

අපේ දියුණුවක් නැත්තෙ ඇයි ?




ලංකාවේ මිනිස්සුන්ට ඇයි දියුණු වෙන්න බැරි? මට අද හදිස්සියේම ඔලුවට ආපු පුරස්නයක් තමා මේක. මේ රටේ මිනිස්සුන්ට කරන්න පුළුවන් වැඩකුත් නෑ බැරි වැඩකුත් නෑ බලාගෙන ගියාම. කරන්න බැරි දෙයක් නැහැ කියන්නෙ මේකයි. ලංකාවෙ කොයි පැත්තකට ගියත් අපිට දකින්න හම්බ වෙනවා අපේ ආදී මුතුන් මිත්තෝ කරපු මහා පරිමාන පුදුම හිතෙන අලංකාර ප්‍රෞඩත්වය ඇති කරවන යනාදී වශයෙන් විස්තර කරන්න පුළුවන් වැඩ කන්දරාව. කන්දක් නැග්ගොත් ඔකේ කොහේ හරි පන්සලක් තියෙනවා ගල් කණු වලින් සක්තිමත් කරපු. ගුහාවකට ගියොත් රුව විස්තර කරන්න බැරි තරම් අලංකාර චිත්‍ර තියෙනවා. කන්ද බැහැල තන්නකට ගියොත් මහා මුහුද වගේ ලොකු වැව් තියෙනවා. මේ රට මහා අරුම පුදුම වැඩ කරපු රටක්. 

මොනවත් බැහැයි කියන්න හේතුව ඉතිං කාටවත් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නැතිව ඇතිනේ. මේ දවස් වල වෙන දේවල් ගැන ඇහුවම දැක්කම මේ මොන අපත රටක්ද කියල හිතෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්නි ටික පච හල හල බොරුවට එක එකා එක්ක මරා ගන්නවා. තමන්ගේ පක්ෂෙ කැඩෙන්න දෙන්නෙ නෑ අපි එක ආරක්ෂා කරනවා කියල පුරසාරම් දොඩවනවා. මුන් ඔක්කොටම අමතක වෙලා මුන් මොකටද ඔය පක්ෂයක් කියන එකක් හැදුවේ කියල. ඕක හැදුවේ මම දන්නා තරමින් රටේ ඉන්න මිනිස්සුන්ට ඔක්කොටම එකට කතා කරන්න බැරි හින්ද උන් වෙනුවෙන් යමක් කරගන්න තෝරගත්ත කට්ටියක් එකට එකතු කරගන්න. අනිත් හැම දෙයක්ම කරද්දී අපි ඒකෙ තත්වය හොඳද කියල බලනවා. හිතන්න ටීවී එකක් ගන්න ගිය ගියාල? මුලින්ම දැකපු එක අරන් එන්නෙ නැහැනේ. හොද වර්ගයක් බලල තමයි අරන් එන්නෙ වටේ ගෙවල් වලටත් පෙන්න. වාහනයක් ගත්තත් එහෙමයි. වැඩි එකක් ඕන නෑ ගෙදරට නෝනා මහත්තයෙක් ගෙනාවත් එහෙමනේ.... එච්චර හොඳට හොයල බලල ඔක්කොම කරන අපිම අපිව පාලනය කරන්න කෙනෙක් තෝරනකොට ඕව මොනවත් බලන්නෙ නැතුව ඉන්න ලොකුම කාලකන්නියව යවනවා ලොකුම තැනට. ඊට පස්සේ ඌ ගොන් වැඩ කරනකොට ඌට බනිනවා හත්මුතු පරම්පරාවම මතක් වෙන්න. අනේ අපි වගේ මිනිස්සු ටිකක් හැබෑට. 

අද ඕක කල්පනා උනේ මෙන්න මේ සිද්දිය හින්දයි. උදේ ඉව්වෙත් නැති හින්ද මම අද පුළුවන් තරම් ඉක්මනට ලැහැස්ති වෙලා ගියා වැඩට. කැම්පස් එකේම තමා මේ ටිකේ වැඩ. අපි ඉතිං ට්‍රේනීස් ල කියල තම කියන්නෙ. 8:20 වෙනකොට ගිය කියමුකෝ...අත්සන් කරන තැනට යනකොට 8:25යි. මෙන්න බොලේ යනකොට එක බූතියෙක් 8:30 දාල අත්සන් කරලා.......තවම 8:25 යි. මට යකා නැග්ග. ඇයි බොලේ හරි අමාරුවෙන් වාසනාවට තදබදේට අහු වෙන්නේ නැතුව යන්තම් ඉක්මනට ආපු දවසෙත් හරියට වෙලාව දාන්න විදියක් නැති හැටි. කමක් නෑ කියමුකෝ ඒක. 4:15 ට තමයි කට්ටියට වැඩ ඇරෙන්නෙ. අන්න බලන්න එපැයි ඒ වෙලාවට තියෙන හදිස්සිය. 4 වෙනකොට ඔක්කොම ටික අකුලාගෙන අත්සන් කරන තැන පිරිලා පෝලිමට ඉන්නවා කට්ටිය. කීයට ආවත් උදේ 8:30 හවස 4:15. මගෙ යාළුවා කියපු කතාවට මට හිනාත් ගියා. 

" මචන් ජපානෙන් එකෙක් ආවොත් එහෙම ඌ හිතයි මේකෙ ඉන්න උන් ඔක්කොම ගානට ප්‍රෝග්‍රෑම් කරලා කියල වෙලාවට වැඩ කරන්න. " 

Wednesday, November 11, 2015

අවුරුදු හතරක්ම උනා එහෙනම් - ලාබයි ඇපල් ගේ උපන් දිනය



මදැයි එහෙනම්. දැන් හතර අවුරුද්දකුත් ලබනවා. මෙච්චර කල් ගියා කියල දැනුනෙවත් නෑ. ගතවුණ කාලයේ සුමිහිරි මතක සටහන් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. මේ ආපු ගමනෙ හමු උන අයත් දිරි දුන්න අයත් ඕන තරම්. ඒ වගේම කම්මැලි වෙලාවට බැනල දිගටම ලියපන් කියපු අයත් ඉන්නවා. මේ වෙලාවේ මම ඒ හැමෝම අයට මගේ හද පිරි තුති පුද කරනවා. ගිය පාර ලිපියේ ලිව්වා වගේ මම මේ බ්ලොග් ලිවිල්ල පටන් ගත්තේ මම හිතන දේවල් වලට අනික් අය මොනවද කියන්නෙ බලන්නත් හොඳ මිතුරන් රැසක් හොයාගන්නත් කියන අදහස ඇතුව. නමුත් ටික කලක් යනකොට මට තේරුනා මට ඉගෙන ගන්න බොහෝ දේවල් මෙන්ම අනිත් අයවත් දිරිමත් කරන්න පුළුවන් කියල. 

ගිය අවුරුද්දේ මේ වෙනකොට මම බ්ලොග් ලිවිල්ල අතැරලා දාල තමා තිබුනේ. මතක හැටියට 3 වෙනි අව්රුද්ද සපුරපු දවසේ මම ලිපියක් පල කළේවත් නැහැ. ඒ අනුව බලනකොට අද මම හොඳයි කියල හිතෙනවා. කාලය ගතවෙද්දී සෑහෙන්න කාර්යබහුල උනත් හැකි සාම වෙලාවකම මම හැම තැනම තියෙන බ්ලොග් කියවන්නත් අදහස් පල කරන්නත් අදහස් කරගෙන ඉන්නවා. 

උපන් දිනයක් කියන්නෙ මට නම් බොහොම වැදගත් දවසක්. කාල බීල පාටි දන්නා නෙමෙයි. ගතවුණ අවුරුද්ද ගැන හිතල කල දේවල් මතක් කරලා ඉස්සහරහට කරන්න ඕන දේවල් සැලසුම් කරගන්න තියෙන හොඳම දවස තම උපන් දිනය කියන්නෙ . මට නම් එහෙමයි. අනික් අයට කොහමද දන්නෙ නම් නැහැ ඉතිං. 

 2011 අද වගේ දවසක , ඒ කියන්නෙ 11.11.11 දවසේ මම පලවෙනි ලිපිය ලිව්වා පලවෙනි පොස්ට් එක  කියල.  මේකට පලවෙනි කොමෙන්ටුව දාපු මගේ මිත්‍රය තමයි මට බ්ලොග් එකක් කියල දෙයක් තියෙනවා කියල මුලින්ම කිව්වේ. ඒ හින්ද ඔහුට මම මගේ ස්තුතිය පල කරන්නම ඕන . ඒ වගේම මුලින්ම මා කියවූ බ්ලොගය - මගේ ලෝකය දැන් ලියන්නෙ නැති උනාට ඒ ලියපු කතුවරයාටත් මා තුති පුදනවා. එතෙක් මෙතෙක් කල් මා සමග හිටපු සියලු දෙනාටත් බොහොම ස්තුතියි. 

එහෙනම් මට සුබ උපන් දිනයක් වේවා.......!!!  

Wednesday, October 28, 2015

මොකටද අපි බ්ලොග් ලියන්නේ....??

මට හිටි ගමන් ඔලුවට ආපු අදහසක් මේක. මේ වගේ ඒවා ඔලුවට එනවා කම්මැලිකමේ හිනිපෙත්තට නැගල තව ටිකක් උඩට නැග්ගහම . වස කම්මැලිකමේ මෙලෝ දෙයක් කරන්න හිත නොදුන් වෙලාවක දැන් වැරදිලා වගේ ලියන මගේ බ්ලොග් කට්ට පැත්තේ එන්න හිතුන. වැඩ ගොඩක් ඇති කමකට නෙමෙයි දැන් නම් මේක නොලිය ඉන්නේ. කම්මැලි හින්ද. ආයිත් බොරු කියන්න ඕනයැ . හද්ද කම්මැලිකමේ මේ දවස් ටික ගෙවෙන්නේ. කොරපු training එකේ රිපෝට් එක ලියන්නත් තියෙනවා. තවම ඒකෙන් බාගයයි ලියල තියෙන්නෙ. මේ සතියේ නම් කොහොම හරි ඒක ඉවර කරන්න ඕන. 

දැන් අපි එමුකො මාතෘකාවට. අපි එක එක දේවල් කරනවා විවිධ අරමුණු හිතේ තියාගෙන. මේ බ්ලොග් ලිවිල්ලත් ඒ වගේම වැඩක්නේ. ඉතින් මම කල්පනා සාගරේ ගිලිලා ඉන්නකොට  කල්පනා උනා මේක. මොකටද අපි බ්ලොග් ලියන්නේ හැබෑටම? සමහරු කැමතියි කට්ටියට ආතල් දෙන්න. එහෙම පටන් ගත්ත ඒවා ටිකක් තිබුන දැන් ඒවා මම දන්නා හැටියට නතර කරලා. අලුත් ඒවා තියනවද නම් දන්නෙ නෑ. පරණ තිබ්බ දෙක තුනක් නම් දැන් නෑ කියල දන්නවා. 

තවත් සමහර අය මේක ලියන්නේ ඇත්තටම දැනුම බෙදා දෙන අදහසින්. මගේ ඔලුවට එන පලවෙනි බ්ලොග්කරු තමයි විචාරක. එතුමා දැන් ඉතින් විශ්‍රාම අරගෙන හැරමිටිය අරන් වෙවුල වෙවුල යන කාලෙනේ. ඉතින් පරණ දේවල් මතක් කරලා බ්ලොගේ ලියනවා. මම හරිම ආසාවෙන් කියවන බ්ලොග් එකක් තමයි අසමි දකිමි සොයමි කියන එක. තවත් මේ වගේ අදහසකින් කරන කිහිප දෙනෙක්ම ඉන්නවා. සයුරි අක්කගේ පහන් යාය බ්ලොග් පිටුව. මේකේ ගොඩක් වෙලාවට අපේ ඉතිහාසේ ගැන ගොඩක් දේවල් ලියවෙනවා. 

මෙහෙම ලියනවනම් තව පිටු ගානක්ම ලියන්න පුළුවන්. ඒ හින්ද මම ඒවා ගැන ලියන්නේ නෑ. දැන් ඇපල් වස කම්මැලියෙක් වෙලා. ඒ හින්ද සමා වන සේක්වා........! මම නම් මේ බ්ලොග් පිටුව පටන් ගත්තේ අලුත් යාලුවන්ව හම්බ වෙන්න. ඇත්තටම කියනවනම් මට මේක හරහා යහළුවන් ගොඩ දෙනෙක් හම්බ උනා. එක්කෙනෙක් දෙන්නෙක් හැරෙන්න තවමත් මම මේ කිසිම කෙනෙක් හැබැහින් දැකල නම් නැහැ. ඒ උනත් ඒ ඇති උන මිතුදම් තවමත් බොහොම තදයි. ඒ වගේම තමයි මට උවමනා උනා මම හිතන දේවල් ගැන අනික් අය මොන වගේ ඒවාද කියන්නෙ බලන්න. ගොඩක් වෙලාවට මම ලියන්නේ මගේ හිතට එන අදහස්. ඒවා හරිද වැරදිද කියලා බලන්නේ නැහැ ලියල දානවා. ඒවට දෙන අදහස් මම බොහොම කැමැත්තෙන් පිළිගන්නේ. 

මේ බ්ලොගේ බලන අයත් මේ ගැන දරන අදහස කියනවද? ඇත්තටම මේ ගැන මට දැනගන්න ඕන. සමහරු ටික කාලයක් ලියල නවත්තනවා අනික් එව්වන්ට අපි මොකටද නිකන් ආතල් දෙන්නේ කියල. නමුත් මේක එහෙමම කියන එකත් අසාධාරණයි. ඒ හින්ද ඔබලත් මේ ගැන මොනවද හිතෙන්නෙ කියන එක පහලින් කොටලා යනවා නම් මම බොහොම සතුටුයි. 




Monday, June 22, 2015

අංගම්පොර

ඇම්බැක්ක දේවාලයේ ඇති කැටයමක්.


ඔන්න කතාව පටන් ගන්න යන්නේ....එන්ඩෝ.....
පොඩ්ඩක් ඇන්ටනාව හරවන්න පේනවා මදි.
තව ටිකක්..
නෑ නෑ අනික පැත්තට හරවන්න ආපහු
ආ දැන් ඇති ටිකක් පැහැදිලි උනා. ඔය ගානට වත් බලමු.

මේ මොකටද ලැස්ති වෙන්නෙ? දඬුබස්නාමානය බලන්න ගෙදර කට්ටියත් එක්ක රුපවාහිනිය වටේ එකතු උනේ මෙන්න මෙහෙමයි. ඒ කාලේ අපිට තිබ්බේ NATIONAL කියල වර්ගයක කළු සුදු එකක්. අනික් එක අපේ ගෙදර තියෙන්නෙ කඳු වළල්ලකින් වට වෙලා. ඒ හින්ද ITN එකයි ජාතික රුපවහිනියයි තමයි පෙනුනේ. එකත් තිත් මහා ගොඩක් එක්ක ඇද වෙවී තම බැලුවේ. කොහොම වෙතත් මොනවා හරි කරලා අපි මේ නාට්‍යය බලන්න නම් එකතු උනා. අනික් ටෙලි නාටක වලට වඩා වෙනස්ම කතාවක් තිබ්බ මේකේ ප්‍රධාන චරිත වලට අපි සෑහෙන්න ආදරය කලා. 

අංගම්පොර කියන නම ඇපල් ට මුලින්ම ඇහුනේ මේ නාට්‍යය හරහා. ඕක බලල ගිහින් ඉස්කෝලේ උන්ගෙ එහෙට මෙහෙට ඇනල අපි කියනවා නිල වලට ගැහුවා දැන් උඹ ඉවරයි තව ටික වෙලාවකින් උඹ මැරෙනවා කියල. ඒ කාලෙත් මම පාසලේ ප්‍රසිද්ධ වෙලා හිටියේ නිතරම රණ්ඩු කරන ඕන වෙලාවක වලියට යන කෙනෙක් හැටියට. ඉතින් සමහර අය අරෙහෙම කිව්වම බයත් උනා මට මතකයි. අංගම්පොර කියන නම ඒ කාලේ අපි අතරේ එච්චර ප්‍රසිද්ධ නොවුනත් පහු කාලෙක මේ ගැන හොයල බලන්න මට ආසාවක් ඇති උනා.මේ ආසාව හින්ද පුළුවන් කාලෙක අන්තර්ජාලේ පෙරළුව මේ ගැන තොරතුරක් හොයාගන්න. ඒ වගේම එක එක පුද්ගලයන්ගෙනුත් ඇහුව. නමුත් මට සෑහීමකට පත් වෙන උත්තරයක් නම් හම්බ උනේ නැහැ.

මම දන්නා හැටියට අංගම්පොර කියන අපේ සටන් කලාවට සැහෙන ඉතිහාසයක් තියෙනවා. විජය කුමාරය , එහෙමත් නැත්නම් විජය කියන තක්කඩියා ()මේ සිරි ලංකාවට පය ගහනකොට මේ රටේ ගෝත්‍ර 3 ක් හිටිය කියල අපි අහල තියෙනවනේ. මේ අතරින් යක්ෂ ගෝත්‍රයේ කුවේණිය ව රවටගෙන මේ රට අල්ලගත්ත හැටි අපි හැමෝම දන්නවා. මහාවංශයේ සඳහන් තොරතුරු අනුව මේ යක්ෂ ගෝත්‍රිකයෝ බොහොම දරුණු, ඒ වගේම සවි ශක්තියෙන් ඉහල ජන කොට්ඨාසයක්. මොවුන් අතින් පයින් කරන සටන් වලට ඇති දක්ෂයින් කියල සඳහන් වෙනවා. අනික් ගෝත්‍ර ගැන සඳහනක් නැති උනත් ඒ අයත් විවිධ ආකාරයේ සටන් හැකියාවන් තිබුන පුද්ගලයන් වෙන්න ඇති කියල අපිට උපකල්පනය කරන්න වෙනවා. ඒ මොකද අපේ රට වගේ මුහුදෙන් වට උන සහ විවිධ ධන ධාන්‍ය වලින් පිරුණු රටකට සතුරු ආක්‍රමණ වලින් බේරෙන්න කුමක් හෝ ක්‍රමයක් තිබිය යුතුයි. ඒ අතරේම භුමි ප්‍රදේශ වලට රට ඇතුලෙම සටන සිද්ධ වෙනවනේ. මේ වගේ වෙනකොට සටන් කලා කියන ඒවා නිකම්ම බිහි වෙනවා.

මේ ආකාරයට විවධ ගෝත්‍ර අතරේ තිබ්බ විවිධ සටන් ක්‍රම එකතු වෙලා අංගම්පොර හැදෙන්න ඇති කියලයි මගේ නම් අදහස. (සංවාදයට විවෘතයි) . මේක කාලයත් එක්ක උස් පත්වීම් එක්ක දියුණු වෙලා එන්න ඇති. පෘතුගීසින් මේ රට ආක්‍රමණය කරපු කාලේ අංගම්පොර සටන් කලාව උච්ච මට්ටමක තියෙන්න ඇති කියල අපිට හිතන්න පුළුවන්. විමලධර්මසුරිය රජතුමා පෘතුගීසින් සමග කරන දන්තුරේ සටනෙදි සතුරු සෙබළුන්ගේ හිස් වලට ඉහලින් ඔවුන්ගේ පෙළ මැදට පැන සටන් කල සිංහල සෙබළුන් දැක පෘතුගීසින් පුදුමව වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ විදිහට සතුරු ආක්‍රමණ වලට මුහුණ දීමට අංගම්පොර කියන මේ දේශීය සටන් කලාව ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා.  උඩින්ම දාල තියන පින්තුරෙනුත් මේක ඔප්පු වෙනවා. 

මීට වඩා අංගම්පොර ඉතිහාසය ගැන මට දැනුමක් නම් නැහැ. ලෙව්කේ රාල , සුදල්ලිය සහ මාරලිය ගුරු කුල, ඒදඬුවාවේ දිසාපතිනිය වැනි ප්‍රසිද්ධ නම් ගම් ගැන අහල තිබුනත් නිවැරදි තොරතුරක් සොයා ගැනීම ඉතාම අපහසුයි. තිබුනත් ඒවා සාක්ෂි සහිතව ඔප්පු කිරීම තවත් අපහසුයි. මේ නිසා අද වෙනකොට අංගම්පොර කියන නම ඉතාම පහසුවෙන් විකුණාගෙන කන්න පුළුවන් වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. ජයන්ත චන්ද්‍රසිරි නමැති නිෂ්පාදකයා දඬුබස්නාමානය නාට්‍යය නිර්මාණය කිරීම සඳහා අංගම්පොර ගැන විස්තර සොයමින් රට වටා ඇවිද්ද බවත් එය පලක් නොවුන බවත් ඉතිහාසගත තොරතුරු හැරෙන්නට වර්තමානයේ අංගම්පොර දන්නා පුද්ගලයෙක් සොයාගන්නවත් නොලැබුන බවත් වරක ඔහු ප්‍රකාශ කර තිබුනා. මේ අනුව මට එන අදහස නම් ඉංග්‍රීසින් අතින් මේ සටන් කලාව කරන පුද්ගලයින් සහ සටන් ක්‍රම සම්පුර්ණයෙන්ම විනාශ වෙලා යන්න ඇති කියලයි.මෙම සටන් ක්‍රමයේ දරුණු බව සහ තර්ජනාත්මක බව සුද්දන් හොඳින් දන සිටියා වෙන්න ඇති.ඒ නිසා අංගම් පුරුදු කරන අය මරා දමන්නටත් කකුලෙන් පහලට වෙඩි තියන්නටත් අංගම් මඩු ගිනි තියන්නටත් පර සුද්ද අණ කරපු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉංග්‍රීසින් ගේ කාලයේ ඇති උන අංගම් තහනම ඉවත් උනේ 21 වන සියවසට ආවටත් පස්සේ. 

අද වෙනකොට නම් පඳුරකට පයින් ගැහුවත් පාරම්පරික අන්ගම්කරුවන් හතර පස් දෙනා විසි වන මට්ටමටම ඇවිත්. කොහේ බැලුවත් අත්ත මුත්තා කිත්ත කිරිකිත්ත කාලේ ඉඳන්ම අංගම් හටන් දන්නා බව කියන අය ඉන්නවා. ඒ වගේම අංගම් කලාවේ බොහොමයක් කොටස් නැති වෙලා ගිහින් තියෙනවා කියලත් දැනට ඉතුරු වෙලා තියෙන්නෙ බොහොම ටිකක් බවත් මේක රැකගෙන ඉදිරියටම කරගෙන යන්න ඕන බවත් ඔවුන් පවසනවා. ඒ කෙසේ වෙතත් මේ බොහොමයක් අංගම් ගුරුන් (හොරුන්) දශකයකට පමණ පෙර චීන අඩි උගන්වපු හෝ විවිධ ඉන්දියානු සටන් ක්‍රම පුහුණු වූ අය බව හැම දෙනාම දන්නා ප්‍රසිද්ධ රහසක්. දඬුබස්නාමානය නාට්‍යයට පස්සේ බිහි වූ මේ පාරම්පරික ගුරුවරුන් ඇත්තටම අංගම්පොර කලාවට ආදරය කරන පිරිසක්ද කියන එක ඕනෑම කෙනෙකුට හිතට එන ප්‍රශ්නයක්. 

සමහර විට ඇත්තම සටන් කලාව දන්නා පුද්ගලයිනුත් ඇති. නමුත් හොරුන් කවුද ඇත්ත කියන්නන් කවුද කියල හඳුනාගන්නවත් තරම් දැනුමක් අපිට නොමැති වීම අපේම අවාසනාවක් කියල කියන්න පුළුවන්.

(මෙහි නැති දේවල් තියෙනවනම් කොමෙන්ටුවක් පල කරන්න. දැනුම දියුණු කරගන්න ලැබෙන ඕනෑම උදව්වකට තුති. )



Thursday, June 11, 2015

කම්මැලිකම



මෙහෙම කම්මැලි කමක් හැබෑටම. අන්තිමට ලිපියක් දැම්මේ ගිය අවුරුද්දේ ඉල් මාසේ. ඊට පස්සේ තුන් වෙනි අවුරුද්ද සම්පුර්ණ උන එකට වත් මම මේ පැත්ත පළාතේ ආවේ නෑ. මගේ එකම නිදහසට කාරනාව උනේ අධ්‍යාපන කටයුතු කියන එක. එකට මුවා වෙලා මම කම්මැලි කමේ හිටියේ මෙච්චර කලක්. තව හේතුවකුත් තිබුන. එක තමා මම වින්ඩෝස් වල ඉඳන් උබුන්ටු වලට මාරු උනා. ඒකෙ සිංහල ටයිප් කරනවා කියන්නේ මොට්ට පොරවකින් ගස් කපනවා වගේ.  එපාම වෙන වැඩක්. ඉතින් දහ දොළොස් පාරක්ම මම ටිකක් ලියල අතැරලා දැම්ම. ඊට පස්සේ බ්ලොග් කියවන එකත් එහෙමම නතර උනා. ඉඳල හිටලා ඇවිල්ල ලිපියක් දෙකක් කියෙව්වා ඇරෙන්න වෙන වැඩක් කලේ නෑ. පුදුම කම්මැලි කමක් මේක නම්.

මේ ටිකේම අපේ විශ්ව විද්‍යාලයෙන් මාව දාල තියෙන්නෙ පුහුණුවීම් වලට.සමහර දවස් වලට මුළු දවසෙම නිකම් බලාගෙන ඉන්නවා. තවත් සමහර දවස් වලට දවසෙම වැඩ. අද වැඩි වැඩක් නැති එකේ මම නිකමට වගේ ආව මේ පැත්තට. මුලින්ම දැක්කේ සිරා ගේ කාමරේ තුන් අවරුදු උපන්දිනේ. මට හිතුනා නියම දවසක තමයි මම ආපහු ආවේ කියල. ඊළගට කියෙව්වා විචාරකගේ භාෂාව පිලිබඳ දාල තිබුන ලිපිය. ඊළඟට මම කල්පනා කළා ඇයි මට මේක ලියන්න වෙලාවක් නැත්තේ කියල. උවමනාව තියනවනම් මට උවමනා තරම වෙලාව හදාගන්න පුළුවන් කියල මටම තේරුනා. ඔන්න ඉතින් අවසානෙට කාර්යාලේ ඉඳන් මාස ගානකට පස්සේ ඔන්න මේක ලියනවා. කව්රු බලයිද දන්නේ නෑ. ඒ උනාට මොකද ඉතින් ආපහු මේක ලියන්න පටන් ගන්නවා කියන්නෙම ලොකු දෙයක්නේ. පටන් ගන්න තමයි අපහසුම. 

බලමු ඉදිරියටත් පුළුවන් පුළුවන් හැටියට ලිපි ටිකක් දාන්න. අංගම්පොර ගැන මේ දවස් වල ටිකක් උනන්දුවක් ඇති වෙලා තියෙනවා සමහර විට ඊළඟට ලියන්නේ එක ගැන වෙන්නත් පුළුවන්. සමහර විට අලුත්ම දෙයක් ගැන වෙන්නත් පුළුවන්. ඔන්න එහෙනම් ආයිත් ඇපල් ආව ලාබෙට ඇපල් බෙදන්න.